Clare Joanne Connor එංගලන්තයේ Marylebone ක්‍රිකට් සමාජයේ (MCC) මීළඟ සභාපතිවරිය ලෙස යෝජනා කෙරුණේ ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමිනි.

ඒ ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැඩි ගෞරවයක් උසුලන එමෙන්ම ක්‍රීඩාවේ ඇති පැරණිතම ක්‍රිකට් සමාජ අතරින් එකක් වන MCC හි වසර 233ක දීර්ඝ ඉතිහාසය තුළ එහි සභාපති ධුරය සඳහා පත්වන පළමු කාන්තාව බවට Clare පත්වීමත් සමඟයි.

පසුගිය වසරේ දී MCC සභාපති ධුරය සඳහා, ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර පත්කෙරුණු අතර ඔහු එම ධුරය සඳහා පත්කෙරුණු ප්‍රථම විදේශිකයා වේ.

MCC සභාපතිවරුන් වසරක ධුර කාලයක් සඳහා පමණක් පත්කෙරුණත් ‘Coronavirus’ වසංගතයත් සමඟ උද්ගතව ඇති තත්වය හේතුවෙන් සංගක්කාර තවත් වසරක කාලයක් සඳහා එම ධුරයේ රැඳී සිටිනු ඇති අතර ඒ අනුව එළඹෙන වසරේ දී සිදු වන මීළඟ නව සභාපති පත්කිරීම සඳහා ඔහු විසින් Clareව පසුගිය දා පවත්වනු ලැබූ MCC මහා සභා රැස්වීමේ දී එහි සාමාජිකයින් වෙත යෝජනා කරනු ලැබීය.

එම ධුරය සඳහා Clare වෙත සිදු කරනු ලැබූ ආරාධනය ඇය විසින් මේ වන විටත් බාරගෙන ඇති අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර පවසා සිටියේ;

“MCC මීළඟ සභාපති ධුරය බාරගන්න සිදු කළ ආරාධනය Clare විසින් පිළිගැනීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට රැගෙන යාමට අදාළව MCCයට සුවිශේෂී කාර්යභාරයක් තියෙනවා. Clareට තියෙන අනුබලයත් එක්ක ඇය MCCයට විශාල දායකත්වයක් දෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. 

ඇය ධුරයේ වැඩ බාරගන්නා තුරු ඉදිරියට තියෙන ලොකු කාලසීමාවත් එක්ක මීළඟට පත්වීමට නියමිත සභාපතිවරිය ලෙස ඇයට විශේෂ කාර්යභාරයක් ඉටු කිරීමට තියෙනවා.”

එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වමින් Clare පවසා සිටියේ;

“MCC මීළඟ සභාපතිවරිය ලෙස මාව නම් කිරීම මට ලැබුණු සුවිශාල ගෞරවයක්. ක්‍රිකට් ක්‍රීඩාව මේ දක්වා මගේ ජීවිතයට ගොඩක් වටිනා දේවල් ළඟා කරලා තියෙනවා. ඉතින් දැන් මට MCC සභාපති ධුරය දැරීමේ මේ ගෞරවය වගේම විශේෂ වරප්‍රසාදයත් හිමි වෙලා තියෙනවා. 

අපි නිතරම පසුපස හැරිලා බැලිය යුතුයි අපි කොච්චර දුරක් ඇවිත් තියෙනවා ද කියලා. Lord’s ක්‍රීඩාංගණයට පළමු වතාවට එද්දී මම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කරපු අවුරුදු 9ක කුඩා දැරියක්. ඒ කාලේ කාන්තාවන්ට ‘Long Room’ එක වෙත පිවිසෙන්න අවසර වත් තිබුණේ නැහැ. නමුත් දැන් කාලය ගොඩක් වෙනස් වෙලා. 

දැන් අද මා වෙත මේ වටිනා අවස්ථාව පැවරිලා තියෙනවා. ඒ හරහා මට ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන වැදගත්ම ක්‍රිකට් සමාජය වන MCCයෙහි කොටසක් වෙලා වඩාත් නවීන මෙන්ම අන්තර්ගත වූ අනාගතයක සාර්ථකත්වයට පත්වෙන්න වගේම තවදුරටත් දියුණු වෙන්නත් ඔවුන්ට යම්කිසි සහයෝගයක් දක්වන්න අවස්ථාව හිමි වෙලා තියෙනවා. 

MCCය විසින් එක්සත් රාජධානිය තුළ වගේම ඉන් පිටතත් ඉන්න ප්‍රජාවන් වෙනුවෙන් ගොඩක් විශ්මයජනක කාර්යභාරයක් ඉටු කරනවා. ඔවුන් තමයි වඩාත්ම නඟා සිටුවීමේ අවස්ථාවන් සංවිධානය කරන්නේ. ඒවා හරහා ජනතාව එකට එක්වීම සිදු වෙනවා. 

ඒ වගේම මේ අවිනිශ්චිත සහ අපහසු කාල සීමාවෙන් ඉදිරියට එන්න අපි කුඩා පියවර ඉදිරියට තියෙන කාලයක ක්‍රීඩාවේ ශක්තිය වගේම MCCය වැනි බලවත් ආයතනවල සහයෝගය වෙන කවමදාකටවත් වඩා අපිට අවශ්‍යයි. ඉතින් මට එහි මීළඟ සභාපති ධුරය සඳහා ආරාධනා කිරීම මට ලොකු අභිමානයක්.”

ඒ අනුව MCC සාමාජිකයින් විසින් සිය අනුමැතිය ලබා දීමෙන් අනතුරුව Clare එළඹෙන 2021 වසරේ ඔක්තෝබර් 01 වැනි දින සිට MCC සභාපති ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතව ඇති අතර ඇයගේ ධුර කාලය 2022 සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා වලංගු වනු ඇත. 

1976 වසරේ සැප්තැම්බර් මස 01 වැනි දින එංගලන්තයේ Brighton හිදී උපත ලබන Clare කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කරන්නට විය. ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස එහි දී දැක්වූ දක්‍ෂතා හමුවේ ඇයට අනතුරුව Sussex හි ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සමාජයක් වන Preston Nomads හි වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරීමේ අවස්ථාව හිමි වේ. 

දකුණතින් පන්දුවට පහර දෙමින් වමතින් දඟපන්දු යවමින් තුන් ඉරියව්වෙන්ම ඇය දැක්වූ ඉහළ දක්‍ෂතා හමුවේ එංගලන්ත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය දිනා ගන්නා ඇයට 1995 ජූලි මස 19 වැනි දින ඩෙන්මාර්කයට එරෙහිව පැවති තරගයක දී අවුරුදු 19ක තරම් තරුණ වයසක දී එංගලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථා හිමිවන්නේ ඇය ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගනිමිනි. ඉන් මාස 5ක් වැනි කෙටි කාලයකින් අනතුරුව ඉන්දියාවට එරෙහිව පැවති තරගයක දී ඇයට එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට ද අවස්ථාව හිමි වෙයි. 

එංගලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුළ ද ඇය නොකඩවා තුන් ඉරියව්වෙන්ම දක්‍ෂතා දක්වන්නට වූ අතර 1999 වසරේ දී ඉන්දියාවට එරෙහිව ඇය වාර්තා කර ගත් කඩුලු ත්‍රිත්වය ඒ අතරින් කැපී පෙනෙන්නට විය. 

අනතුරුව 2000 වසරේ දී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරීමේ ගෞරවය හිමිකර ගන්නා ඇය 2005 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුම වසර 6ක කාලයක් පුරාවට එම ධුරයේ කටයුතු කරමින් කණ්ඩායම ජයග්‍රහණ රැසක් කරා මෙහෙයවන්නට සමත් වූවාය. 

ඒ අතරින් එංගලන්තය 2005 ලෝක කාන්තා ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය කරා රැගෙන යාමත්, එම වසරේ දීම වසර 42කින් පසුව පළමු වරට එංගලන්තය කාන්තා අළුබඳුන ශූරතා ජයග්‍රහණයක් කරා මෙහෙය වීමත් සුවිශේෂී වේ. 

එම ජයග්‍රහණයෙන් සුළු කාලයකට පසුව Clare විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කර සිටි අතර ක්‍රීඩාවට සමුදෙන විට ඇය එංගලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 93ක් ක්‍රීඩා කරමින් ලකුණු 1087ක් වාර්තා කරගන්නට මෙන්ම කඩුලු 80ක් දවා ගන්නටත්, තවදුරටත් ටෙස්ට් තරග 16ක දී ලකුණු 502ක් වාර්තා කරගනිමින් කඩුලු 24ක් දවා ගන්නටත් සමත්ව සිටියා ය. ඊට අමතරව ඇය වැඩිදුරටත් එංගලන්ත වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර 20 තරග 2කට ද ක්‍රීඩා කර තිබුණි. 

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට Clare සිදු කළ සුවිශේෂී මෙහෙය අගයමින් එරට රැජිණ විසින් 2004 වසරේ දී ඇයව Member of the Order of the British Empire (MBE) ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අතර අනතුරුව ඇය ක්‍රිකට් ක්‍රීඩාවට කළ සමස්ත මෙහෙය අගයමින් 2005 වසරේ දී ඇයව තවදුරටත් Officer of the Order of the British Empire (OBE) ගෞරව නාමයෙන් ද පිදුම් ලබනු ලැබීය. 

ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමෙන් අනතුරුව 2007 වසරේ දී ඇයව එංගලන්තයේ හා වේල්සයේ ක්‍රිකට් ආයතනයේ (ECB) කාන්තා ක්‍රිකට් පිළිබඳ ප්‍රධානී ධුරයට පත්කෙරුණු අතර එහි දී 2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන ශූරතාවය ඇතුළු තවත් ජයග්‍රහණ රැසකට කණ්ඩායමට අවශ්‍ය පරිපාලන නායකත්වය ලබා දීමත් සමඟ පසුගිය වසරේ දී ඇයව එහි කළමනාකරණ අධ්‍යක්ෂ ධුරය දක්වා උසස් කෙරිණි. එම ජයග්‍රහණයත් සමඟ තවදුරටත් ඇයව Commander of the Order of the British Empire (CBE) ගෞරව නාමයෙන් ද පිදුම් ලබන්නට විය. 

එමෙන්ම Clare 2011 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) කාන්තා ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය හොබවනු ලබන අතර ඊට අමතරව ඇය Sussex ක්‍රිකට් සමාජයේ මෙන්ම Sport England ආයතනයේ ද අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කර ඇත. 

ක්‍රීඩාවට අමතරව අධ්‍යාපනයෙන් ද සුවිශේෂී දක්‍ෂතා දක්වා ඇති ඇය එංගලන්තයේ Manchester සරසවියෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කලා ගෞරව උපාධියකට හිමිකම් කියනු ලබයි. අනතුරුව ඇය Brighton College හි ඉංග්‍රීසි සාහිත්‍යය සහ ශාරීරික අධ්‍යාපනය පිළිබඳව ඉගැන්වීමේ කටයුතුවල ද නිරත වී ඇති අතර එහි මහජන සම්බන්ධතා පිළිබඳ ප්‍රධානී ධුරය ද දරා ඇත. 

තවත් විශේෂාංග ලිපි: 

2009 වසරේ දී MCCයේ ගරු යාවජීව සාමාජික ධුරයෙන් පිදුම් ලබන ඇයට මේ වන විට එහි වසර 233ක දීර්ඝ ඉතිහාසයේ පළමු කාන්තා සභාපතිවරිය වීමේ සුවිශේෂී අවස්ථාව හිමිව ඇත. 

පුරුෂ ආධිපත්‍යය ඉස්මතු වන සංවිධානයක් ලෙස සමහරෙකු විසින් හඳුන්වනු ලබන MCCය තුළ 1998 වසර දක්වාම කාන්තාවන් හට සාමාජිකත්වය ලබාගැනීම සඳහා අවස්ථාව හිමි වූයේ නැත. 

1787 වසරේ දී ස්ථාපිත කරනු ලබන MCCයේ සාමාජිකයින් විසින් ඊට වසර 211කට පසු කාන්තාවන් හට සාමාජිකත්වය ලබා දීම ආරම්භ කිරීම සඳහා යෝජනාවක් ගෙන එනු ලැබුවත් පළමුව එය අනුමත වූයේ නැත. 

කෙසේ නමුත් එම වසරේ අග භාගයට වන්නට ඒ සඳහා නැවතත් ගෙන එනු ලබන යෝජනාවක් අනුමත වන්නේ අනුග්‍රාහකයින් ද ඇතුළු තවත් පාර්ශව රැසක් ඒ වෙනුවෙන් එල්ල කළ පීඩනය හමුවේ ය. 

මේ වන විට සාමාජිකයින් 18,000ක් පමණ සිටින MCCය තුළ අදටත් සිටින්නේ කාන්තාවන් ඉතා අතළොස්සක් වන අතර ඒ අනුව එළඹෙන වසරේ දී එහි සභාපති ධුරයේ වැඩ බාරගන්නා Clare හට ඇය ඉදිරියේ අභියෝග රාශියක්ම ඉතිරිව ඇත. 

කෙසේ නමුත් ක්‍රීඩාව ද ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පාහේ සමානාත්මතාවය ඇති කිරීමට බොහෝ දෙනා උත්සුක වී සිටින කාලයක දී MCCය වැනි සාම්ප්‍රදායික සහ පුරුෂ ආධිපත්‍ය යටතේ පැවති අනෙක් පසින් ලෝකය තුළ ඉහළම පිළිගැනීමක් ඇති ක්‍රිකට් සමාජයක සභාපති ධුරය සඳහා Clareව යෝජනා වීම ඉතා ප්‍රගතිශීලී පියවරක් වනු ඇති බව නම් නොඅනුමාන ය. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<