පාකිස්තානුවන්ගේ මෙහෙයුමෙන් කුසලානය ඔවුන් ඩැහැගනී ද?

189

නොබෝ දිනකින් ඇරඹීමට නියමිත 12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මේ වන විට කටයුතු සියල්ල සූදානම්. මීට සහභාගී වන කණ්ඩායම් අතරින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම කාගේත් අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත් වී ඇත.

හතළිස් වසරක සිහිනයක් සමඟ ලෝක කුසලානයට පිවිසෙන කොදෙව්වෝ

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සියලුම කණ්ඩායම්වල සංචිත නම් කොට…

කෙසේ වෙතත් ලෝක කුසලාන වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් තරගාවලිවල දී තරමක් අවතක්සේරුගත කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකි පාකිස්තාන කණ්ඩායම නොයෙක් වතාවන්හි පෙරළිකාරී ලෙස අනෙකුත් කණ්ඩායම් අභිබවා ඉදිරියට යාමට සමත් වූයේ අන් සියලු විචාරක මත පුස්සක බවට පත්වෙමිනි.

එහෙත් මෙවර තරගාවලිය සඳහා පාකිස්තානය වෙත ලෝක ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය මූලික වශයෙන්ම යොමු වීමට බලපෑ ප්‍රධානතම හේතු කාරණාව වූයේ මීට වසර දෙකකට පෙර එංගලන්තයේම පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලිය කිසිවකු අපේක්ෂා නොකළ පරිදි ඔවුන් ජය ගැනීමට සමත් වූ බැවිනි.

එම තරගාවලියට පෙර පාකිස්තානය එක්දින ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ පසුවීම ඔවුන්ගේ අනපේක්ෂිත නැගී සිටීම පිළිබිඹු කරන හොඳම නිදසුනකි. එම නිසා එළඹෙන ලෝක කුසලානයේදීත් විශාල පෙරළියක් ඇති කිරීමට වුවද ඔවුන්ට යම් අවකාශයක් ඇතැයි ලෝක ක්‍රිකට් විචාරකයන් අතර යම් මතයක් ගොඩනැගී ඇත.

පාකිස්තාන ලෝක කුසලාන ඉතිහාසය පිළිබඳ සලකා බැලීමේ දී ඔවුන් එක් ශූරතාවකට (1992) සහ අනුශූරතාවකට (1999) මේ දක්වා හිමිකම් කීමට සමත් විය. ඒ හැරුණු කොට සියලුම තරග රටාවල සමස්තයක් ලෙස සැලකූ විට පාකිස්තානය මේ දක්වා එංගලන්ත භූමිය තුළ පැවති ප්‍රමුඛ පෙළේ තරගාවලිවල අන් කණ්ඩායමේ සියල්ලෙන්ම වඩා ඉදිරියෙන් සිටීමට සමත් විය. ඊට නිදර්ශන ලෙස එංගලන්තයේ පැවති 1999 ලෝක කුසලාන අනුශූරතාවය, 2009 පන්දුවාර විස්ස ලෝක කුසලාන ශූරතාවය, 2017 ශූරයන්ගේ කුසලානයේ ශූරතාවය වැනි තරගාවලි ගෙනහැර දැක්විය හැක.

එහෙත් ඔවුන් එංගලන්තයේ අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරගාවලිය 5-0ක් ලෙස පරාජයට පත් වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ තම බලාපොරොත්තු පිළිබඳව සිය ක්‍රීඩාලෝලීන්ට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. මීට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එංගලන්ත භූමියේ මේ දක්වා සාර්ථක වූ පාකිස්තාන වේගපන්දු යවන්නන් කිසිවකු මෑත කාලීනව තම දස්කම් අතර නොසිටීම නිසා ඔවුන් දිගින් දිගටම ප්‍රතිවාදී පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්වීමයි.

කෙසේ වෙතත් ඔවුන් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය යන කණ්ඩායම් සමඟ අනුපිළිවෙළින් තරග වැදීමට නියමිතව සිටියි.

මෙවර තරගාවලිය සඳහා සෆ්රාස් අහමඩ්ගේ නායකත්ව මගපෙන්වීම යටතේ පිවිසෙන පාකිස්තානු කණ්ඩායම ඉතාමත් සමබර සංයුතියකි.

මෙහි දී මූලින්ම සඳහන් කළ යුතු ප්‍රධානතම කාරණයක් වන්නේ පාකිස්තානය ලෝක කුසලානය සඳහා නම් කළ මූලික සංචිතයේ මේ වන විට වෙනස්කම් 3ක් සිදු කිරීමයි. ඉන් මුල් සංචිතයේ සිටි අබිඩ් අලී වෙනුවට අසිෆ් අලීවත්, ෆහීම් අශ්රෆ් වෙනුවට මොහොමඩ් අමීර්වත්, ජුනයිඩ් ඛාන් වෙනුවට වහාබ් රියාස්වත් ආදේශ කරනු ලැබීය.

පාකිස්තාන කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වශයෙන් පිටියට පිවිසෙන්නේ වමත් පිතිකරු සූසංයෝගයක් වන ෆකාර් සමාන් සහ ඉමාම් උල් හක් යුගලයයි.

ගෙවී ගිය කාලසීමාව තුළ මොවුන් දෙදෙනා එක්ව වාර්තාගත සබඳතා ද සමඟ සබඳතා රැසක් බිහි කිරීමට සමත් වූයේ කලකට පසු පාකිස්තාන ක්‍රිකට් අනාගතයට නව බලාපොරොත්තුවක් එක් කරමිනි.

මේ අතරින් ෆකාර් සමාන් තමාටම ආවේණික සුවිශේෂී පහරවල් වලින් හෙබි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන අතර ඉමාම් උල්හක් තරමක් සෙමෙන් ඉනිම් ගොඩනගා විශාල ඉනිම් කරා යා හැකි පොතේ පහරවල් සහිත පිතිකරුවෙකි.

නො.3 ස්ථානය හිමිව තිබෙන්නේ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලීන විශාලතම ආයෝජනය ලෙස හැඳින්විය හැකි බාබර් අසාම් ය. තාක්ෂණයෙන් පිරිපුන් පිටිය පුරාම පහරවල් ඇති දක්ෂ දකුණත් පිතිකරුවෙකු වන බාබර් අසාම් මෙවර ලෝක කුසලාන තරගාවලියේ විශාලතම පාකිස්තාන බලාපොරොත්තුවකි. එමෙන්ම ඔහු වර්තමාන ICC පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ මුල් දස දෙනා අතර සිටින එකම පාකිස්තාන නියෝජනය ලෙසින් එම ලැයිස්තුවේ 7 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ සමස්ත පාකිස්තාන පිතිකරණ බල ඇණියේ ප්‍රමුඛත්වය තමා වෙත ලබා ගනිමිනි.

පාකිස්තාන මුල්පෙළ පිතිකරුවන් වන මොවුන් තිදෙනාගේ ම පිතිකරණ සාමාන්‍යයෙන් 50ට වැඩි අගයක තිබීම මෑත කාලීන පාකිස්තාන පිතිකරණයේ ස්ථාවරත්වය විදහා දක්වන කදිම සාක්ෂියකි.

මෙම කණ්ඩායමේ නො.4 ස්ථානය වෙන්ව තිබෙන්නේ පාකිස්තාන පිතිකරණ බලඇණියේ අත්දැකීම් බහුලතම පිතිකරුවෙකු ලෙස හැඳින්විය හැකි මොහොමඩ් හෆීස්ට ය. පිතිකරණය මූලික කර ගත් දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු වන හෆීස් පාකිස්තාන සංයුතියේ සමබරතාවය රැකගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. දකුණත් පිතිකරුවෙකු ලෙස පාකිස්තාන මැදපෙළ ශක්තිමත් කරන හෆීස් පාකිස්තාන පිතිකරණ අංශයේ වගකීම් සහිත පිතිකරුවෙකි.

නො.5 ස්ථානය වෙන්ව තිබෙන්නේ දශක දෙකක ජාත්යන්තර අත්දැකීම් සහිත පාකිස්තාන කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි ෂොයිබ් මලික්ට ය. ඔහු ද හෆීස් මෙන් ම පිතිකරණය මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අතර පාකිස්තාන මැදපෙළෙහි විශාල කාර්යභාරයක් සිදු කරන පිතිකරුවෙකි. මලික් යනු කෙමෙන් කෙමෙන් විශාල ඉනිමක් ගොඩනැගීමට මෙන්ම අවශ්‍ය විටෙක දල ලකුණු වේගය කඩිනමින් වැඩි කිරීමට සුවිශේෂී හැකියාවක් ඇති දක්ෂ දකුණත් පිතිකරුවෙකි. එමෙන්ම ඔහුගේ දකුණත් පිට දඟපන්දුව මගින් ද මලික් තම කණ්ඩායමට අමතර ශක්තියක් වේ.

නො.6 ස්ථානයේ පිතිකරණයේ යෙදෙනු ලබන්නේ පාකිස්තාන නායකත්වයේ වගකීම ද සමඟ කණ්ඩායමේ බර තම කර මතට ගන්නා සෆ්රාස් අහමඩ් ය. දකුණත් පිතිකරුවෙකු ලෙසින් මැදපෙළ ශක්තිමත් කරන පිතිකරුවෙකු වන සෆ්රාස් මෙම සංයුතියේ සිටින නිත්‍ය කඩුලු රකින්නා ද වේ. ස්ථාවරව පිතිකරණ අන්තය මාරු කරමින් පිතිකරණයේ යෙදීම උපයෝගී කරගනිමින් තම කණ්ඩායම පීඩනයක සිටින අවස්ථාවක වුවද එය ප්‍රතිවාදීන් වෙත හරවා යැවීමට සුවිශේෂී දක්ෂතාවයක් දක්වන ඔහු කණ්ඩායමේ ප්‍රබලතම භූමිකාවක් හොබවන ක්‍රීඩකයෙකි.

සංචිතයේ සිටින අනෙක් පිතිකරුවන් දෙදෙනා වන්නේ හැරිස් සොහේල් සහ අසිෆ් අලී දෙදෙනා යි. මේ අතරින් හැරිස් සොහේල් පිතිකරණය මුල් කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අතර ඔහු මේ දින වල තම හොඳම රිද්මයේ පසු වේ. වමත් පිතිකරුවෙකු සහ වමත් පිට දඟපන්දු යවන්නෙකු වන ඔහු මුල් පෙළ පිතිකරුවෙකු ලෙසින් පිතිකරණයේ නියෙලැනු ලබයි.

අනෙක් පිතිකරුවා වන අසිෆ් අලී දකුණත් මැදපෙළ පිතිකරුවෙකු වන අතර ඔහුට ආවේණික පිතිකරණ රටාව වන්නේ ප්‍රවේගකාරී පිතිහරඹයයි. කෙසේ වෙතත් ඔහු මේ දින වල මානසිකව යම් බිඳ වැටීමකට ලක්ව සිටින අතර ඊට බලපා ඇති හේතුව වන්නේ ඔහුගේ දියණියගේ හදිසි අකල් වියෝව මීට දින කිහිපයකට පෙර සිදු වීමයි.

මෙවර ලෝක කුසලානය හිරු නොබසින අධිරාජ්‍යයට?

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීම සඳහා ඇත්තේ තවත් ස්වල්ප කාලයකි. මේ සඳහා…

නො.7 ස්ථානය හිමිව තිබෙන්නේ පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉමාඩ් වසීම් හටයි. ශහිඩ් අෆ්රිඩිගේ සමුගැනීමත් සමඟ වමත් පිට දඟපන්දු යවන්නෙකු ලෙස වසර 4ක කාලයක සිට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිකරගෙන සිටින ඉමාඩ් පහළ මැදපෙළ පිතිකරුවෙකු වශයෙන් ද කණ්ඩායම අමතර ශක්තියක් වනු ලබයි.

ඉමාඩ්ගේ සහයක දඟපන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කරන්නේ දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක ෂඩාබ් ඛාන් ය. ගුග්ලි සහ ලෙග් බ්‍රේක් පන්දු යැවීමේ විවිධත්වයන් තම මූලික ප්‍රභේද බවට පත්කරගන්නා ෂඩාබ් පන්දු යැවීම මූලික කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු නො.8 ස්ථානයේ පිතිකරණයේ නියැලෙනු ලබයි.

පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු බලඇණිය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඉන් නිත්‍ය පන්දු යවන්නන් දෙදෙනෙකු වෙතැයි අනුමාන කළ හැක්කේ ෂහීන් ෂා අෆ්රිඩ් සහ හසන් අලී දෙදෙනා යි.

මේ අතරින් ෂහීන් ෂා වමත් ආරම්භක වේගපන්දු යවන්නෙකු වන අතර ඔහුගේ මූලිකතම පන්දු යැවීමේ ප්‍රභේද වන්නේ පන්දුව ඇතුළට දෝලනය කිරීම සහ කෙටි පන්දුවයි. පාකිස්තානුවන්ගේ විශාලතම අනාගත ආයෝජනයක් ලෙස හැඳින්විය හැකි ඔහු තවමත් 19 වැනි වියේ පසුවෙයි.

අනෙක් පන්දු යවන්නා වන හසන් අලී දකුණත් වේගපන්දු යවන්නෙකු වන අතර ඔහු කණ්ඩායමේ තෙවැනි පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කරයි. 2017 වසරේ එංගලන්තයේ පැවති ශූරයන්ගේ කුසලානයේ දී පාකිස්තාන ජයග්‍රහණය වෙනුවෙන් විශාලතම කාර්යභාරයක් සිදු කළ ක්‍රීඩකයා ලෙසින් හැඳින්විය හැකි ඔහු එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්විය.

හසන් අලීගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඔහු පසුගිය වසරේ ලොව පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පන්දු යවන්නා බවට ද පත් වූ අතර ඔහුගේ වර්තමාන පසුබෑම මත මේ වන විට ඔහුට අංක 26 වන ස්ථානය දක්වා පසුබෑමට සිදුව ඇත.

ෂහීන් සහ හසන් දෙදෙනාගේ සහයක වේග පන්දු යවන්නා වීමට සඳහා මේ වන විට ඔවුන්ගේ ජ්‍යේෂ්ඨතම පන්දු යවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් අමීර් සහ වහාබ් රියාස් අතර ද්වන්ද සටනක් නිර්මාණය වී ඇත. මොවුන් යුගලයේ අත්දැකීම් හැරුණුකොට එක් සුවිශේෂීත්වයක් වන්නේ දෙදෙනාම වමත් වේගපන්දු යවන්නන් වීමයි.

මේ අතරින් අමීර් පන්දුව ඇතුළට හා පිටතට දෝලනය කිරීමෙන් හා කෙටි පන්දුවෙන් වැඩි වාසි ලබා ගන්නා ආරම්භක වේගපන්දු යවන්නෙකු වන අතර වහාබ් පන්දුව පිටතට දෝලනයෙන්, අමතර වේගයෙන් හා යෝකර් පන්දුවෙන් වැඩි වාසි ලබා ගන්නා වේගපන්දු යවන්නෙකි.

මොවුන් දෙදෙනාම පසුගිය දිනවල තම රිද්මයේ නොසිටීම නිසා කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබූ දෙදෙනෙකු වන අතර පාකිස්තාන නවක වේගපන්දු යවන්නන් එංගලන්ත එක්දින තරගාවලියේ අසාර්ථක වීමේ හේතුකාරණාව පදනම් කොටගෙන ඔවුන් දෙදෙනාව නැවත කණ්ඩායමට කැඳවනු ලැබීය.

අන්නාසි මාමාගෙන් උගත් ක්‍රිකට්

දිනය පෙබරවාරි මාසයේ එක් දිනයකි. වැඩ නිමවී වෙහෙස නිවාගන්නට සිතා මම ටොරින්ටන් චතුරස්‍රය…

පාකිස්තාන සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන්නා වන්නේ තවමත් එක්දින තරග 5ක් පමණක් ක්‍රීඩා කර ඇති මොහොමඩ් හස්නේන් ය. අමතර වේගයට ප්‍රමුඛත්වය ලබා දෙමින් පන්දු යවන වමත් වේගපන්දු යවන්නෙකු වන හස්නේන් මේ දක්වා ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරග කිහිපය තුළ තරමක් අසාර්ථක වූ ක්‍රීඩකයෙකු වූවත් දේශීය පිටියේ ඔහුගේ ස්ථාවර දස්කම් පාදක කොටගෙන ඔහුව මෙම සංචිතයට තෝරාගෙන ඇත.

වර්තමානයේ පාකිස්තාන වේගපන්දු බලඇණිය යම් අසාර්ථකත්වයකට ලක් වූවද එංගලන්ත භූමියේ දී සෑම විටම ඔවුන්ගේ ප්‍රබලතම අවිය වන්නේ ද වේගපන්දුවයි. ඉතිහාසයේ ඔවුන් මේ දක්වා සාර්ථක වී ඇත්තේ ද වේග පන්දුවේ සාර්ථකත්වය මූලික කර ගනිමිනි.

සමස්තයක් වශයෙන් ගත් කළ මෙම පාකිස්තාන සංයුතිය ඉතාමත් සමබර සහ දක්ෂතා රාශියක එකතුවකි. මෙවර ලෝක කුසලානයේ තරගකාරීත්වය රැක ගැනීම සඳහා අස්වැසිල්ලක් විය හැකි කණ්ඩායමක් ලෙස අවිවාදයෙන්  නම් කළ හැකි පාකිස්තානු පිල කිසිසේත් සුළුවට තැකිය නොහැකි කණ්ඩායමකි. පාකිස්තානුවන්ට අනෙකුත් කණ්ඩායම් හා සාපේක්ෂව ගත් කළ තරමක් පසුපසින් සිටිය ද ඔවුන්ට ඕනෑම මොහොතක අනෙකුත් ප්‍රබල කණ්ඩායම් අභිබවා නැගී සිටිමින් ඉදිරියට පැමිණිය හැකි බව නොයෙක් වතාවක් සනාථ කර ඇති කණ්ඩායමකි.

එම නිසා පාකිස්තානුවන්ට 1992 වසරින් පසුව සඵල කරගැනීමට නොහැකි වූ වසර 27ක ලෝක කුසලාන සිහිනය මෙවර යථාර්ථයක් බවට පත්කර කරගැනීම සඳහා ඔවුන් තම උපරිම දායකත්වය ලබාදෙනු ඇති බව නොඅනුමාන ය. ඒ සඳහා ඔවුන් ලෝක කුසලාන ගමන්මගේ කෙසේ ඉදිරිය කරා ගමන් කරාවි දැයි අප ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වශයෙන් නෙත් අයා බලා සිටිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<