Bumrah ගැන විශේෂ තීරණයක්

125
Jasprit Bumrah

ආබාධ නිසා පසුගිය කාලසීමාවේ ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah හට තවමත් ක්‍රීඩා කිරීම සඳහා ජාතික ක්‍රීඩා ඇකඩමියේ (NCA) අවසරය හිමිව නොමැති අතර ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමේ දී ඔහුගේ වැඩ කොටස නිරීක්ෂණය කිරීමට ද ඉන්දීය ක්‍රිකට් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පිටියේ වඩාත්ම කතාබහට ලක් වූ ක්‍රීඩකයෙකු වන Bumrah ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන් නියෝජනය කරන අතර ඔහුගේ ගිවිසුමේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 12ක්.

ක්‍රිකට් පිටියෙන් කලක් ඉවත්ව සිටීමෙන් පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Bumrah නැවතත් තරග බිමට පිවිසීමට බොහෝ ඉඩක් ඇති අතර එහි දී ඔහුගේ ප්‍රගතිය අධ්‍යනය කිරීමට වැදගත් වෙනවා. ඒ මෙම වසරේ දී ලෝක ටෙස්ට් ශූරතාවය සහ ලෝක කුසලානය පැවැත්වෙන නිසයි.

Bumrah ඕස්ට්‍රේලියා තරගාවලියේ කිසිදු සංචිතයකට ඇතුළත් නොවන බව ඊයේ (19) ඉන්දීය තේරීම් කමිටු නිලධාරීන් විසින් තහවුරු කළ අතර ඒ අනුව ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරග දෙක සහ එක්දින තරගාවලිය අහිමි වෙනවා.

මාස පහක කාලයකින් Bumrah ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැති අතර ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයක් නියෝජනය කළේ පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේ දීයි.

ඔහු ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමි පරිශ්‍රයේ දී පුහුණු තරග දෙකක් ක්‍රීඩා කර ඇති බව වාර්තා වන නමුත් ජාතික තේරීම් සඳහා සලකා බැලීමට ඔහුට තවමත් NCA කළමනාකරුවන්ගේ අවසරය හිමිව නැහැ.

ඒ නිසා ඔහු ඕස්ට්‍රේලියා තරගාවලිය ක්‍රීඩා නොකර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී නැවතත් ක්‍රීඩා පිටියට පිවිසීමට වැඩි ඉඩක් ඇති අතර එය ඔහුගේ ප්‍රගතියට බාධාවක් නොවන බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අදහසයි.

කණ්ඩායම් කළමනාකාරිත්වය ඔහුගේ කාර්ය බහුලත්වය (වැඩ කොටස) තරගාවලිය අතරතුර නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇතත් තවමත් එහි සැලසුම් ප්‍රකාශයට පත් කර නැහැ.

පන්දු යවන්නෙකුට දැල් තුළ පන්දු 24කට වඩා නොයවන ලෙසත්, ඔහුව එක දිගට ක්‍රීඩා නොකර කළමනාකරණය කරමින් ශාරීරික යෝග්‍යතාව පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් විදෙස් ක්‍රීඩකයින්ට ලීග් ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමේ දී ක්‍රීඩකයින්ගේ රටවල ක්‍රිකට් ආයතන විසින් ලීග් සංවිධායකයින්ට ප්‍රකාශ කරනවා.

මෙම ක්‍රියාවලිය ඉන්දීය පන්දු යවන්නන් සඳහා ද අදාළ වන නමුත් Bumrah හට විශේෂ අවධානයක් ලබා දීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී Chetan Sharma එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමෙන් පසුව ප්‍රධානියෙකු නොමැතිව කමිටු රැස්වීමක් පසුගිය දා පවත්වා ඇති අතර ඒ සඳහා තේරීම් කමිටු නිලධාරීන් වන Subroto Banerjee, Salil Ankola, SS Das, S Sharath, ඉන්දීය ක්‍රිකට් නායක Rohit Sharma සහ ක්‍රිකට් ප්‍රධානී Jay Shah සහභාගීව තිබුණා.

Sharmaගේ ඉල්ලා අස්වීමෙන් පසුව හිස් වූ තේරීම් කමිටු ප්‍රධානී තනතුර සඳහා නව ප්‍රධානියෙකු හෝ අතුරු සභාපතිවරයෙකු පත් කරන්නේ ද යන්න තවමත් ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර නොතිබීම විශේෂත්වයක්.

ඉන්දීය ක්‍රීඩකයින් සිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වීමට එන්නත් ලබා ගැනීම වැනි මතභේදාත්මක ප්‍රකාශ කිහිපයක් කිරීමෙන් පසු Chetan Sharmaට සිය තනතුරින් ඉල්ලා අස්වීමට සිදු වූ අතර ඔහු පෙබරවාරි 17 වැනිදා සිය ඉල්ලා අස්වීම බාර දී තිබුණා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<