Cummins නැවතත් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

180

ඉන්දියාවේ සංචාරයක නිරත ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායක Pat Cummins නැවතත් සිය මව්රට බලා පිටත්ව තිබෙනවා. ඒ සිය පවුලේ සෞඛ්‍ය ගැටලුවක් නිසයි.

ඔහු දින කිහිපයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙන අතර ඉන්දියාව සමඟ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට සූදානම් වීම සඳහා ඔහු නැවතත් ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකම පරාජය වීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට සිදු වූ අතර ඔවුන්ගේ තෙවැනි ටෙස්ට් තරගය මාර්තු 01 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එකම වේගපන්දු යවන්නා ලෙස Cummins ක්‍රීඩා කළ නමුත් ඉන්දීය දෙවැනි ඉනිමේ ඔහුට පන්දු යැවීමට අවස්ථාව හිමි වුනේ නැහැ.

තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දීය ක්‍රීඩකයින්ට හිමි වූ ලකුණු 115ක ඉලක්කය ඔවුන් ඉතා පහසුවෙන් හඹා ගියා.

යම් හෙයකින් Cummins හට නැවත කණ්ඩායම සමඟ එක් වීමට නොහැකි වුවහොත් උපනායක Steven Smith හට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකක දී එලෙස කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

කණ්ඩායම සඳහා වේගපන්දු යවන්නෙක් අවශ්‍ය වුවහොත් Mitchell Starc සහ Josh Hazelwood තෙවැනි ටෙස්ට් තරගය සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව පිළිබඳව අවධානයෙන් පසුවන අතර ඔවුන්ට අමතරව Scott Boland සහ Lance Morris ද ඕස්ට්‍රේලියා සංචිතයට ඇතුළත්ව තිබෙනවා.

ආබාධයක් නිසා පළමු තරග දෙක අහිමි වූ තුන් ඉරියව් ක්‍රීඩක Cameron Green ද තෙවැනි තරගයට සූදානමින් පසුවන බව වාර්තා වෙනවා.

එමෙන්ම දෙවැනි ටෙස්ට් තරගයේ දී පන්දුවක් වැදීමෙන් ආබාධයට ලක් වූ David Warner සහ සුළු ආබාධයකට ලක් වූ Todd Murphy තෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමේ ඉඩක් ඇති අතර සිය දරුවාගේ උපත වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට පිටත් වූ Mitchell Swepson නැවතත් සංචිතයට එක් වීමට නියමිතයි.

තරග හතරකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ Cummins හටයි.

Espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<