බංග්ලාදේශ පන්දු යවන්නා PSL ප්‍රතික්ෂේප කරයි

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය 2023

278
Taskin Ahmed turned down PSL offer

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියට සූදානම් වීම සඳහා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ Multan Sultans කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හිමි වූ අවස්ථාව බංග්ලාදේශ ක්‍රීඩක Taskin Ahmed ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහුට එම කණ්ඩායම වෙනුවෙන් තරග තුනක් ක්‍රීඩා කිරීම සඳහා යෝජනාවක් කණ්ඩායම විසින් ඉදිරිපත් කර තිබුනත්, එංගලන්ත තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු, පසුගිය දා නිමාවට පත් වූ බංග්ලාදේශ සුපර් ලීග් තරගාවලිය අතරතුර දී ආබාධයට ලක් වූ අතර පසුව බංග්ලාදේශ වෛද්‍ය නිලධාරීන් විසින් ඔහුව එංගලන්ත තරගාවලියට පෙර සුව කර ගැනීම සඳහා පුනරුත්ථාපන (නැවත සුව වීමේ) වැඩසටහනකට ඇතුළත් කර තිබුණා.

එංගලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය මාර්තු 01 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරගාවලියක් ඇතුළත්.

“Sultan Multans කණ්ඩායම මට තරග තුනක් ක්‍රීඩා කිරීමට ආරාධනා කළා. මම ඒ ගැන භෞතචිකිත්සක සමඟ සාකච්ඡා කිරීමෙන් පස්සේ ඔහු කිව්වේ මම පුහුණුවීම්වලට අවධානය දුන්නා නම් හොඳයි කියලා.

මම දැන් හොඳින් වගේම මට සෙල්ලම් කරන්න යන්න පුළුවන්, ඒත් භෞතචිකිත්සක සමඟ කතා කළාට පස්සේ මම ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒක කිව්වේ නැහැ. මොකද මට එංගලන්ත තරගාවලියට තව පුහුණුවෙන්න ඕන වුනා.

ඒක තරග දෙක තුනක් සම්බන්ධ දෙයක් (Multan Sultan කණ්ඩායමට ක්‍රීඩා කිරීම), ඒත් මට එංගලන්ත තරගාවලිය අහිමි වුවහොත් ඒක නරක දෙයක්.

මම තාම ආබාධයෙන් සුවය ලබන නිසා මට සම්පූර්ණ සුවය ලැබීම වැදගත්. මට පාකිස්තාන සුපර් ලීගය අහිමි වීම ගැන කනගාටුවක් නැහැ,” යැයි Taksin ප්‍රකාශ කළා.

එමෙන්ම පසුගිය ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීම පිළිබඳව ද ඔහුට කනගාටුවක් නොමැති බව Taskin ප්‍රකාශ කළ අතර ඔහුට එම තරගාවලියට සහභාගී වීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර හිමි වුනේ නැහැ.

“මට ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන්න පාලක මණ්ඩලයෙන් අවසර ලැබුණේ නැහැ. ඒත් මට ඒක ගැන දුකක් නැහැ, ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමයි මගේ ඉලක්කය.

මම ජාතික කණ්ඩායමේ දිගටම හොඳින් ක්‍රීඩා කළොත් මට ලීග් ක්‍රීඩා කරන්න ඕන තරම් අවස්ථාව ලැබෙනවා. මම ජාතික කණ්ඩායමේ හොඳින් ක්‍රීඩා කරන එක සාර්ථක වුනොත් මට විදෙස් ලීග් වලට ක්‍රීඩා කරන්න පුළුවන්,” Taskin ප්‍රකාශ කළා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<