හිටපු විනිසුරු Steve Bucknorගෙන් පාපොච්චාරණයක්

4335

2008 Sydney ටෙස්ට් තරගයේ දී තමන් අතින් සිදු වූ අත්වැරදීම් එහි දී ඉන්දියාවේ පරාජයට හේතුවක් වන්නට ඇති බව හිටපු විනිසුරු Steve Bucknor විසින් පිළිගෙන ඇත. 

‘Monkeygate’ අර්බුදයට අමතරව 2007-08 ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ දෙවන ටෙස්ට් තරගයට අදාළව එහි විනිසුරුවරුන්ගේ තීරණ ද දැඩි ලෙස ආන්දෝලනයට තුඩුදුන් අතර ඒ හරහා එම තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත් සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම ඒත් සමඟම එම Border-Gavaskar කුසලානයේ ද ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය. 

මේ පිළිබඳව අදහස් දක්වමින් එම තරගයේ ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ දී සහ එහි අවසන් දිනයේ ඉන්දියාව තරගයේ පරාජයෙන් ගැලවීමට උත්සාහ දරන පසුබිමක දී තමන් අතින් සිදු වූ අත්වැරදීම් දෙකක් පිළිබඳව මෙහි දී Bucknor සිය හඬ අවදි කර ඇත. 

“ඉන්දියාව හොඳින් ක්‍රීඩා කරමින් සිටිය දී සිදුවුණ පළවෙනි අත්වැරදීම හරහා ඕස්ට්‍රේලියා පිතිකරුවෙක්ට ශතකයක් වාර්තා කරගන්න අවස්ථාව හිමි වුනා. පස්වැනි දිනයේ දී සිදු වුන දෙවන අත්වැරදීම ඉන්දියාව එම තරගය පරාජයට පත්වෙන්න හේතුවක් වෙන්නට ඇති.”

මෙහි දී Bucknor පවසා සිටින ඔහු අතින් සිදු වූ පළමු අත්වැරදීම අදාළ වන්නේ තරගයේ පළමු දිනයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Andrew Symonds ලකුණු 30ක් වාර්තා කරගෙන සිටිය දී ඔහු දැවී යාමකට අදාළව ඉන්දීය ක්‍රීඩකයින් සිදු කළ ඉල්ලීම පිළිබඳ සිදුවීමටයි. එම අවස්ථාවේ දී ඕස්ට්‍රේලියාව ලකුණු 193කට කඩුලු 6ක් දැවී අපහසු තත්වයක පසු වූ අතර එහි දී එය Symonds පැහැදිලිවම දැවී ගිය අවස්ථාවක් වුවත් ඉන්දීය ක්‍රීඩකයින්ගේ ඉල්ලීම Bucknor විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ එය දැවී යාමක් නොවන බව සංඥා කරමිනි. අනතුරුව Symonds විසින් එහි දී තවත් ලකුණු 132ක් සමඟින් නොදැවී ලකුණු 162ක් වාර්තා කරගනු ලැබුවේ ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 463ක ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමිනි. 

Bucknor විසින් පැහැදිලිවම අවස්ථාව කුමක්ද යන්න මෙහි දී පැවසුවේ නැතත් ඔහු ප්‍රකාශ කර සිටි දෙවන අත්වැරදීම බොහෝ දුරට අදාළ වනු ඇත්තේ ඉන්දීය ක්‍රීඩක Rahul Dravidගේ දැවී යාමේ දී පන්දුව ඔහුගේ පිත්තේ දැවටුණේ නැතත් ඔහුව උඩ පන්දුවක් හරහා දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස Bucknor විසින් සංඥා කිරීමේ සිදුවීම පිළිබඳව විය යුතුය. 

“ඒත් ඒ දින 5ක් පුරාවට සිදුවෙච්ච අත්වැරදීම් 2ක් විතරයි. එක ටෙස්ට් තරගයක දී අත්වැරදීම් දෙකක් සිදු කළ පළවෙනි විනිසුරුවරයා මම ද? ඒත් ඒ අත්වැරදීම් දෙක හරියට මාව හොල්මන් කරනවා වගේ. නමුත් අපි දැනගන්න ඕන එහෙම අත්වැරදීම් වෙන්නේ ඇයි කියලා. මොකද ආයේ ඒ වගේම අත්වැරදීම් සිදුකරන්න ඕනේ නැහැ. මම මේ නිදහසට කරුණු කියනවා නෙමෙයි. ඒත් සමහර අවස්ථාවන් තියෙනවා පිටිය හරහා සුළඟ හමද්දී ඒත් එක්කම ශබ්දයත් එන. කඩුල්ලේ තියෙන මයික්‍රෆෝනය හරහා විස්තර විචාරකයින්ට පන්දුව පිත්තේ වදින ඒ ශබ්දය හොඳට ඇසෙන්න පුළුවන්. ඒත් ඒ ගැන විනිසුරුවරුන්ට විශ්වාසයක් නැති වෙන අවස්ථා තියෙනවා. මේ වගේ දේවල් ගැන රසිකයෝ දන්නේ නැහැ.” 

Perth නුවර පැවති ඊළඟ ටෙස්ට් තරගයේ විනිසුරු වගකීම්වලින් Bucknorව ඉවත් කෙරුණු අතර එම තරගයේ ජයග්‍රහණය හිමිකරගනු ලැබුවේ ඉන්දීය කණ්ඩායමයි. ඒ අනුව Sydney නුවර පැවති එම ටෙස්ට් තරගයෙන් අනතුරුව Bucknor හට දැඩි ලෙස විවේචන එල්ල වන්නට වුවත් ක්‍රිකට් පිටිය තුළ බිහි වූ විශිෂ්ටතම විනිසුරුවරුන් අතරින් කෙනෙක් ලෙස ඔහු අදටත් ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටී. 

ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් තරග 100ක් විනිශ්චය කිරීමේ සීමාවට ළඟා වූ පළමු විනිසුරුවරයා වන ඔහු තවදුරටත් 1992 සිට 2007 වසර දක්වා පවත්වනු ලැබූ එක්දින ලෝක කුසලාන තරගාවලි පහේම අවසන් මහා තරග වල ක්‍රීඩාංගණයේ විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කරනු ලැබීය. 

1992 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම පිළිබඳව අදහස් දක්වමින් Bucknor මෙහි දී පවසා සිටියේ; 

“ඊට කලින් මම විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරලා තිබුණේ ටෙස්ට් තරග 4ක සහ එක්දින තරග 3ක දී විතරයි. ඒ වගේම ඒ ලෝක කුසලාන තරගාවලියට කැරිබියන් දූපත්වලින් හිටපු එකම විනිසුරුවරයා මම. ඉතින් මට විශ්වාසයක් තිබුණේ නැහැ මම එතැන ඉන්න තරම් ම දක්‍ෂ විනිසුරුවරයෙක් ද කියලා. තරගාවලිය අතරතුර මට කට්ටිය කිව්වා මම හොඳින් කටයුතු කරනවා කියලා. කණ්ඩායම් නායකයිනුත් මං ගැන හොඳ දේවල් කිව්වා. මගේ ඉලක්කය වුනේ අවසන් පූර්ව වටයට ගන්න විනිසුරුවන් 6 අතරට එන්න විතරයි. එහි අතිරේක විනිසුරුවෙක් ලෙස ඉන්න තිබුනත් ඒක මට ලොකු සතුටක්. නමුත් Auckland නුවර පැවති නවසීලන්තය සහ පාකිස්තානය අතර අවසන් පූර්ව තරගයේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන්න මට අවස්ථාව හිමි වුනා. ඒ තරගයට පස්සේ මට කිව්වා ‘Bucknor, ඔයා අවසන් මහා තරගයත් විනිශ්චය කරනවා,’ කියලා.”

1992 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව Bucknor ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛ පෙළේ විනිසුරුවරයෙක් ලෙස සිය නාමය ස්ථාපිත කරගැනීමට සමත් වූ අතර ඒ අනුව ඔහු මීළඟ ලෝක කුසලාන තරගාවලි හතරේ ද අවසන් මහා තරගවල විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබීය. කෙසේ නමුත් ඔහුට එම අවස්ථාව හිමි වුනේ එම අවස්ථාවන් සියල්ලේ දීම එහි අවසන් මහා තරග වලට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. 

තවත් කියවන්න;

ඒ අනුව අවසාන වශයෙන් 1996 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව මතකය අවදි කරමින් මෙහි දී ඔහු පවසා සිටියේ;

“මට මතකයි 1996 වසරේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අවසන් පූර්ව තරගයේ දී මම හිටියේ නවදිල්ලි නුවර. එහි දී ඕස්ට්‍රේලියාව ලකුණු 15කට කඩුලු 4ක් දැවී ගියාම මම මගේ හෝටල් කාමරයෙන් එළියට ඇවිත් ලොබි එකට ගිහින් ඔවුන්ට කිව්වා ජැමෙයිකාවට යන්න මට ටිකට් වෙන් කරන්න කියලා. ඊට පස්සේ මම මගේ බෑග් සූදානම් කරගෙන ඊළඟ දවසේ උදේ යන්නත් ලෑස්ති වුනා. නමුත් එදා රාත්‍රියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඒ අවසන් පූර්ව තරගය පරාජයට පත්වුණා. මට ඒකෙන් ලොකු දුකක් ඇති වුනා. මොකද මට අවශ්‍ය වුනා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්න. නමුත් පෞද්ගලිකව ඒක මට සතුටක් වුනා. ඒ තරගය ඉවර වුනාම මට කිව්වා ‘Bucknor, අවසන් මහා තරගය විනිශ්චය කරන්න ඊළඟ ගුවන් යානයෙන්ම පාකිස්තානයට යන්න සූදානම් වෙන්න,’ කියලා.”

තරග 309ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 2009 වසරේ දී Barbados හිදී පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර එක්දින තරගයකින් අනතුරුව Bucknor විසින් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා ලදි. 

www.cricbuzz.com වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<