මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් නොබිඳි වාර්තා

2225

මලල ක්‍රීඩා වාර්තාවක් කියු සැණින් අප මතකයට නැගෙන්නේ ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර හුසෙයින් බෝල්ට් ය. ඒ අපට ආසන්නම දශකය තුල කැපී පෙනෙන වාර්තා බිහි කිරීමට හැකි වූ ක්‍රීඩකයා ඔහු වන නිසාවෙනි.

>> බෝල්ට්ගෙන් පස්සේ වේගයේ කිරුළ කාටද?

දිනෙන් දින වෙනස් වන මලල ක්‍රීඩා පිටියේ වාර්තාවක් දිගු කලක් රැක ගැනීම පහසු නැත, ඒ එකිනෙකාට නොදෙවැනි ක්‍රීඩකයන් ඉතා ඉක්මනින් බිහි වන නිසාවෙනි. නමුත් මලල ක්‍රීඩා ඉතිහාසය දෙස බැලූ විට දශක තුනකට අධික කාලයක් තිස්සේ කිසිවෙකුට බිඳ හෙළීමට නොහැකි වූ වාර්තා කිහිපයක් ද ඇත.

  • Galina Chistyakova – දුර පැනීම (කාන්තා)

රුසියාව සහ ස්ලොවැකියාව නියෝජනය කළ මලල ක්‍රීඩිකාවක් වන “Galina Chistyakova” 1988 වසරේ ජුනි මස 11 වැනි දින දුර පැනීමේ ඉසව්වෙන් මීටර 7.52ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව වෙනුවෙන් ලෝක වාර්තාව පිහිටුවීමට සමත් විය.

Image Courtesy: Getty Images

ඉන්පසුව පැවති ඔලිම්පික් තරගාවලියේ දී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ ඇය 1989 වසරේ දී තුන් පිම්ම ඉසව්වෙන් මීටර 14.52 දස්කමක් දක්වමින් එම ඉසව්වේ ද ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ නමුත් එම වාර්තාව වසරක් යාමට ද මත්තෙන් මීටර 14.54ක දක්ෂතාවයක් දක්වමින් බිඳ හෙළීමට චීන ක්‍රීඩිකා “Li Huirong” සමත් විය.

1996 ඔලිම්පික් උළෙල සඳහා ස්ලෝවැකියාව නියෝජනය කිරීමෙන් අනතුරුව පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් ඇය ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ අතර ඇය විසින් දුර පැනීම ඉසව්වට පිහිට වූ ලෝක වාර්තාව පිහිටුවා වසර 31ක් ගතවී තිබුනත් එය බිඳ හෙලීමට කිසිවෙකුත් සමත් වී නොමැත.

  • Florence Griffith Joyner -100m (කාන්තා)

ඇමරිකානු මලල ක්‍රීඩිකා “Florence Griffith Joyner“ විසින් 1998 වසරේ ජූලි මස 16 වැනි දින ඇමරිකානු ඔලිම්පික් සුදුස්සන් තේරීම් තරග අතරතුර 100m ඉසව්ව තත්පර 10:49ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්ව වෙනුවෙන් ලෝක වාර්තාවක් පිහිටුවන ලදි.

Image Courtesy: Getty Images

පසුව 1988 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ දී සාර්ථක දස්කම් දක්වමින් රන් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් ඇයත් සමත් විය. එම තරගාවලිය අවසන් වී වසරකට පසුව ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කළ ඇය 1998 වසරේදී අවාසනාවන්ත ලෙස  මෙලොවින් සමුගත්තාය.

ඇය විසින් 100m කාන්තා ඉසව්ව සඳහා ලෝක වාර්තාව පිහිටුවා වසර 31ක් ගතවූවත් එය බිඳ හෙළීමට තවමත් කිසිම ක්‍රීඩිකාවක් සමත් වී නොමැත.

>> තරගයකට එහා ගිය පිය සෙනෙහස

  • Stefka Kostadinova – උස පැනීම (කාන්තා)

1987 වසරේ අගෝස්තු මස 30 වැනිදා පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ ඉසව්වෙන් මීටර 2.09ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වට අදාළ ලෝක වාර්තාව පිහිටුවීමට බල්ගේරියානු මලල ක්‍රීඩිකා “Stefka Kostadinova“ සමත් විය.

Image Courtesy: Getty Images

එම වාර්තාව පිහිටුවීමෙන් පසුව ද එම ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඇය 1996 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී උස පැනීමේ ඉසව්වෙන් මීටර 2.05ක දස්කමක් දක්වමින් ඔලිම්පික් වාර්තාව ද අලුත් කිරීමට සමත් වූ අතර 1999 වසරේ දී ඇය ක්‍රීඩාවෙන් සමුගන්නා ලදි.

උස පැනීම ඉසව්ව සඳහා ලෝක වාර්තාව ඇය විසින් පිහිටුවා වසර 32ක් ගතවී තිබුනත් එය බිඳ හෙලීමට තවමත් කිසිදු ක්‍රීඩිකාවකට හැකි වී නැත.

  • Yuriy Sedykh – මිටිය විසිකිරීම (පිරිමි)

1986 වසරේ අගෝස්තු මස 30 වැනිදා පැවති යුරෝපානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටිය විසිකිරීම ඉසව්වෙන් මීටර 86.74ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වට අදාළ ලෝක වාර්තාව පිහිටුවීමට රුසියානු ජාතික මලල ක්‍රීඩක “Yuriy Sedykh” සමත් විය.

Image Courtesy: Getty Images

වාර්තාව පිහිටුවීමට පෙර 1976 සහ 1980 ඔලිම්පික් උළෙලවල දී එම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත්ව තිබූ අතර 1991 වසරේ පැවති ලෝක ශූරතාවලියේ දී ද ඔහු රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එම ජයග්‍රහණයෙන් අනතුරුව යුක්‍රේනය නියෝජනය කරමින් තරග කිරීමට ඔහු තීරණය කළ අතර 1995 වසරේ දී ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා ලදි.

ඔහු විසින් ලෝක වාර්තාව පිහිටුවා වසර 33ක් ගත්වූවත් තවමත් එය බිඳ හෙළීමට කිසිදු ක්‍රීඩකයෙකු සමත් වී නොමැත.

>> ටෝකියෝ ඔලිම්පික් ජය ගන්න සිහින දකින පඬුවස්නුවර තරුව

  • Jürgen Schult – කවපෙත්ත විසිකිරීම (පිරිමි)

ජර්මනිය නියෝජනය කළ මලල ක්‍රීඩක “Jürgen Schult” විසින් 1986 වසරේ ජුනි මස 06 වැනි දින කවපෙත්ත විසිකිරීම ඉසව්වෙන් මීටර 74:08ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වට අදාළ ලෝක වාර්තාව පිහිටුවීමට සමත් විය.

Image Courtesy: Getty Images

පසුව බටහිර ජර්මනිය නියෝජනය කරමින් 1988 වසරේ පැවති ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර සිය අවසාන ක්‍රීඩා උළෙල ලෙස 2000 වසරේ ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් ඔහු ක්‍රීඩාවෙන් සමුගත්තේය.

කවපෙත්ත විසි කිරීමට ඔහු තැබූ ලෝක වාර්තාව වසර 33ක් මුළුල්ලේ අදටත් නොබිදී පවතින අතර දැනට පවතින ලෝක වාර්තා අතර දීර්ඝතම කාලයක් මුළුල්ලේ බිද හෙළීමට නොහැකි වූ වාර්තාව ද මෙයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<