Bradby Shield තරගාවලිය මුල්ම වරට අවලංගු වෙයි?

559

මාර්තු මාසයේ සිට වරින්වර මෙරට තුළ හිස එසවූ කොරෝනා වසංගතය නිසාවෙන් රට පුරා සියලුම ක්‍රීඩා කටයුතු නතර කිරීමට සිදු වූ අතර පාසල් රග්බි ඇතුළු පාසල් ක්‍රීඩකයින් සහභාගි වන තරගාවලි සියල්ලම පාහේ අවලංගු කිරීමට හෝ කල්දැමීමට ද සිදු විය.

මාර්තු මාසයේ Dialog පාසල් රග්බි ලීගය ආරම්භ වී දෙවන සතිය වන විට රට තුළ ඇතිවූ කොරෝනා වසංගත පාලනය වෙනුවෙන් රට වසා දැමීමට තීරණය කළ නිසාවෙන් තරගාවලිය දින නියමයකින් තොරව කල්දැමීමට සිදු විය.

එම වසංගත තත්වය පාලනය කිරීමෙන් අනතුරුව අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු නොවැම්බර් මාසයේ දී නැවතත් පාසල් රග්බි තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් තිබුනත්, ඔක්තෝබර් මාසයේ සිට නැවත වරක් දරුණු ලෙස හිස එසවූ කොරෝනා වසංගතය නිසාවෙන් එම සැලසුම් නතර කරදැමීමට සිදු විය.

තවද මෙම වසංගත තත්වයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම අරමුණු කරගනිමින් මෙම වසර තුළ දී පාසල් ක්‍රීඩා ක්‍රියාකාරකම් තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ නිසාවෙන් මෙම වසරේ Bradby Shield තරගාවලිය ද බොහෝ විට අවලංගු කිරීමට සිදු වනු ඇත බව පෙනෙන්නට තිබේ.

මෙරට පැරණිතම රග්බි තරගාවලිය ලෙස සැලකෙන කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන මෙම Bradby තරගාවලිය 1945 වසරේ දී ආරම්භ වී ඇති අතර මේ වන විට අදියර දෙකක් යටතේ තරගාවලිය පැවැත්වේ.

වසර 75ක් පුරාවට අඛණ්ඩව පවත්වා ඇති මෙම තරගාවලිය 1971 වසරේ ඇතිවූ දේශපාලන ගැටලු නිසාවෙන් එක් අදියරකට පමණක් සීමා කිරීමට සිදු වූ අතර එම වසරේ තරගාවලියේ මුල් අදියර 22-03ක් ලෙස ජය ගත්තේ රාජකීය විද්‍යාලය කණ්ඩායමයි.

එසේ නමුත් මෙම වසංගත තත්වයේ දිනෙන් දින ඇති වන ව්‍යාප්තිය නිසාවෙන් ඉතිහාසයේ මුල්ම වරට 2020 Bradby Shield තරගාවලිය අවලංගු වීමට වැඩි ඉඩක් මේ වන විට නිර්මාණය වී ඇත.

කොරෝනා වසංගතය නිසාවෙන් මාර්තු මාසයේ රට වසා දැමීමෙන් අනතුරුව අගෝස්තු මාසය දක්වා පාසල් ක්‍රීඩා පුහුණුවීම් තහනම් කිරීමට කටයුතු කර තිබූ අතර එම තහනමින් පසු අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පවා ක්‍රීඩා පුහුණුවීම් සිදු කිරීමට විශාල අවස්ථාවක් ක්‍රීඩකයින්ට හිමි නොවීය.

ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් පාසල් රග්බි ලීගය නොවැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් තිබෙන අතර වාරයේ දී මෙම පාසල් ද්විත්වය ද Bradby තරගාවලිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබූ නමුත් වර්තමාන තත්වය අනුව එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට සිදු නොවනු ඇත.

ඒ අනුව වසර 75ක තරග ඉතිහාසයේ මුල්ම වරට Bradby Shield තරගාවලිය අවලංගු කිරීමට සිදු වනු ඇත.

තවත් රග්බි පුවත්:

තවද මෙම තරගාවලිය ලබන වසර (2021) ආරම්භයේ දී පැවැත්වීමට පාසල් දෙක අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් පවතින තත්වය මත ඒවා ද නිෂ්ඵල වී ඇත.

මන්ද, මෙම සමාජ දුරස්ථභාවය තවත් කාලයක් අනුගමනය කළ යුතු නිසාවෙන් තරගාවලිය පැවැත්වූව ද ප්‍රේක්ෂකයන් නොමැතිව එය පැවැත්වීමට සිදු වන අතර තරගාවලිය පවත්වන්නේ නම් කණ්ඩායම් ජෛව ආරක්ෂිත බුබුලකට ද හැඩගැසිය යුතු වනු ඇත.

මීට අමතරව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මෙම තරගාවලිය පැවැත්වීමට නම් පාසල් ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය ද හිමි විය යුතු වේ.

එමෙන්ම යම් හෙයකින් මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු කළහොත්, ජෛව ආරක්ෂිත බුබුලක් නිර්මාණය කර එය නිරීක්ෂණය කිරීමට සහ PCR පරීක්ෂා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වන නිසාවෙන් එම සියලු පිරිවැය මෙම පාසල් ද්විත්වය විසින් දැරීමට සිදු වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<