රග්බි ව්‍යුහයේ වෙනසක් කිරීමට ක්‍රීඩා ඇමතිගේ අවධානය

1544
Namal wants to change SLR Structure

රටට අවශ්‍ය ක්‍රීඩාවේ ප්‍රගතිය ළඟා කරගැනීමට නම් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් ඔවුන්ගේ රග්බි ව්‍යුහය නැවත වරක් සකස් කිරීමට අවශ්‍ය බව නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (05) ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවිධානය කළ වැඩසටහනකට එක් වෙමින් එතුමා සිය අදහස් පල කළ අතර මෙවර පාසල් රග්බි අවලංගු කිරීම නිසාවෙන් අවසන් වසර ක්‍රීඩා කිරීමට නොහැකිව පාසලෙන් ඉවත්ව යන ක්‍රීඩකයන් පිළිබඳව ද ක්‍රීඩා අමාත්‍යවරයා සිය අවධානය යොමු කර සිටියා.

“අපට මෙතන විකල්ප දෙකක් තියෙනවා එකක් වයස අවුරුදු 19න් පහළ තරගාවලිය 20න් පහළ ලෙස සංශෝධනය කරලා පාසල් ක්‍රීඩකයන්ට තවත් වසරක් ක්‍රීඩා කරන්න ලබා දීම, නැත්නම් දෙවන අදියර ලෙස අපට එම පාසල් ක්‍රීඩකයන් වෙනුවෙන් වයස අවුරුදු 23න් පහළ තරගාවලියක් සංවිධානය කරන්න” යැයි එතුමා ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වන වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා සිය සම්පූර්ණ විශ්වාසය රග්බි පාලක මණ්ඩලය වෙත තබා ඇති අතර ඔවුන් විසින් පාසල් රග්බි තරගවාරය අහිමි වීම නිසාවෙන් සිය අවසන් වසර ක්‍රීඩා කිරීමට නොහැකි වූ ක්‍රීඩකයන් සඳහා අමතර සැලසුමක් ගෙන ඇතැයි ද බලාපොරොත්තුවෙන් පසු වේ.

තවත් රග්බි පුවත්:

තවද එම සාකච්ඡාව අතරතුර දී සත් සාමාජික රග්බි තරග රාමුව පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් ඉදිරි වර්ෂයේ දී 7s තරගාවලිය යථා තත්වයට පත්කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

මීට පෙර 2010-2015 කාලයේ දී The Carlton Super Sevens සත් සාමාජික රග්බි තරගාවලිය මෙරටට ඉතා සාර්ථකව පැවැත්වූ අතර Pio Tuwai, Carlin Isles සහ DJ Forbes වැනි ලෝක මට්ටමේ ක්‍රීඩකයන් සහභාගි කරගනිමින් ඉතා ආකර්ෂණීය ලෙස එය සංවිධානය කෙරිණි.

“ක්‍රීඩා අමාත්‍යාංශය විදියට අප පිළිගත් සත් සාමාජික රග්බි ලීග් (Franchise sevens) තරගාවලියක් පැවැත්වීමට අපගේ සම්පූර්ණ සහය ලබා දෙනවා” යැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එම ආකාරයේ සත් සාමාජික තරගාවලි පැවැත්වීම තුළින් මෙරට තුළ සත් සාමාජික රග්බි තරග රාමුව ගොඩනැගීමට හැකි අතර එය තුළින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම කෙටි තරග ආකෘති සාර්ථකත්වයට පත්කර ගැනීමට හැකි වනු ඇත.

මීට පෙර ද මෙම සත් සාමාජික රග්බි තරග රාමුව 2016 රියෝ ඔලිම්පික් උළෙල සහ 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් වැඩි දියුණු කිරීමට අවස්ථා කිහිපයක දී ආරම්භ කළ නමුත් එම අවස්ථා සියල්ලම මූලික සැලසුම්වලට පමණක් සීමා විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<