තීරණාත්මක නෙදර්ලන්ත තරගයට පෙර

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

5152

ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (20) Geelong හි Kardinia Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ දැනට A කාණ්ඩයෙන් අපරාජිතව සිටින නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි. ඔවුන් මේ වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයේ රැදී සිටිනවා. ශ්‍රී ලංකාව මේ ලැයිස්තුවේ හිමි කරගෙන සිටින ස්ථානය තෙවැන්නයි. එහි දෙවැන්න නැමීබියාව දිනාගෙන තිබෙනවා.

ප්‍රසාද ලකුණු පුවරුව

  Team M W L T N/R PT NRR
1 නෙදර්ලන්තය 2 2 0 0 0 4 0.149
2 නැමීබියාව 2 1 1 0 0 2 1.277
3 ශ්‍රී ලංකාව 2 1 1 0 0 2 0.600
4 U.A.E. 2 0 2 0 0 0 -2.028

(M: තරග. W: ජයග්‍රාහී තරග. L: පරාජිත තරග. T: ලකුණු සම වූ තරග. N/R: විසඳුමක් නොමැති තරග. PT: ප්‍රසාද ලකුණු. NRR: ශුද්ධ දළ වේගය.)

පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද නෙදර්ලන්තය A කාණ්ඩයෙන් සුපිරි 12 දෙනා අතරට පිවිසීමේ උත්සාහක වටය නියෝජනය කළා. එහි දී ඔවුන්ට කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට නොලැබෙන අතර එම වටයෙන් ම ඔවුන්ගේ ලෝක කුසලාන ගමන නිමා වෙනවා.

නමුත් ඔවුන් මෙවර මෙම වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නේ සිම්බාබ්වේ දී පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ B කාණ්ඩයේ පළමුවැනියා වෙමින් සහ එම තරගාවලියේ අනුශූරයන් වෙමින්.

එම රිද්මයෙන් ම ලෝක කුසලාන තරග පිටියට පිවිසි ඔවුන් මේ වන විට තමන් සහභාගී වූ තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඒ නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයන් පරාජය කරමින්.

ඒ හේතුවෙන් ඔවුන්ගේ වැඩි දක්ෂතා මෙම තරගයේ දී ද බලාපොරොත්තු විය හැකි අතර කිසිදු අවතක්සේරුවකින් තොරව වඩාත් සටන්කාමී ම කණ්ඩායම මේ තරගයේ දී යොදා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වෙනවා.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයේ දී නැමීබියාව වෙතින් ලත් පරාජයෙන් පසුව සහභාගී වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ තරගය ජයග්‍රහණය කිරීම තවදුරටත් ශ්‍රී ලාංකීය බලාපොරොත්තු ඉහළ දැමුණා. නමුත් තරගාවලියේ ඉදිරියට යෑමේ අවදානම එම තරග ප්‍රතිඵලයත් සමඟ නිමා වූයේ නැහැ. එහි උච්චස්ථානයයි නෙදර්ලන්තය සමඟ පැවැත්වෙන මෙම තරගය.

කෙසේ වෙතත් ජයග්‍රහණය කළ දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ යම් පිබිදීමක් දුටු බැව් තැන තැන කියැවුණා. නමුත් ඒ පිබිදීම දුටුවේ පැතුම් නිස්සංකගෙන් පමණයි. ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් යම් ලකුණු ප්‍රමාණයකට පිවිසිය ද, පිතිකරුවන් ශ්‍රේණිගත කිරිමේ දී ඔවුන් ලැබූ ස්ථානයන්ට දැක්වූ මේ දායකත්වය ප්‍රමාණවත් දෝ යැයි සිතේ.

මේ අතරින් ධනංජය ද සිල්වාගේ ඉනිම, ඊටත් වඩා සාර්ථක කරගනිමින් එළඹෙන තරගයේ දී ද අප අපේක්ෂා කරන අතර කුසල් මෙන්ඩිස් ද තම දායකත්වය මීට වඩා වැඩියෙන් ලබා දීමට හැකි සෑම උත්සාහයක් ම ගත යුතුය යන්න ලියුම්කරුගේ අදහසයි.

ඒ සමඟින්, ඒ සියල්ලටත් වඩා භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ දසුන් ශානක එක්ව ප්‍රතිවාදීන්ට ප්‍රදානය කළ කඩුලු ත්‍රිත්වය, ඉතිහාසයේ අවාසනාවන්ත ම සිදු වීමකැයි සිතේ. එය ලැබූ ඒ ජයග්‍රහණයේ දීප්තිය අවර්ණවත් කිරීමක් ලෙසින් ද හැඳින්විය හැකි. අප එළඹෙන තරගයේ දී මඟ හරවා ගත යුත්තේ එවැනි දේ ය.

අපට ඊට මුහුණ දීමට සිදු වෙන්නේ අපගේ ප්‍රධාන වේගපන්දු යවන්නෝ තිදෙනා ම නොමැතිවයි. තරගාවලිය ආරම්භයටත් පෙරම ඩිල්ශාන් මධුශංක ආබාධිත තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ අතර නිමා වූ තරගයේ දී ආබාධිත බවට පත් වේගපන්දු යැවූ දුෂ්මන්ත චමීර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා ද සහභාගී නොවන බැව් එරට ආරංචි පවසනවා. මේ අතර එම ආරංචි තව දුරටත් පවසන්නේ ප්‍රමෝද් මධුශාන් ද ආබාධිත තත්ත්වයෙන් පසු වන බවයි.

එසේ වුවහොත් හෙට තරගයේ දී වේගපන්දු යවන්නන් ලෙසින් බිනුර ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කණ්ඩායම හා එක් කෙරෙනු ඇත. ඔවුන් සමඟ මහීෂ් තීක්ෂණට සේ ම වනිඳු හසරංගට ද ප්‍රතිවාදී නෙදර්ලන්ත ක්‍රීඩකයෝ පාලනය කිරීමට වැඩි වගකීමක් පැවැරෙනු නියතයි.

නෙදර්ලන්තය සමඟ තරගයේ දී ක්‍රීඩා කරතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම: පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, දසුන් ශානක (නායක) වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු

26 වැනි වියේ පසුවෙන නෙදර්ලන්ත නායක Scott Edwards මේ දක්වා නෙදර්ලන්තය වෙනුවෙන් කණ්ඩායම මෙහෙය වූ සාර්ථක ම නායකයා ලෙසයි හැඳින්වෙන්නේ. එබැවින් ඔහු එම කිරුළ තවදුරටත් හිස මත දරා සිටීමට මෙම තරගයේ දී ද තම උපරිම වෙහෙස ගනු ලබනු නොඅනුමානයි.

ඒ වෙනුවෙන් ඔහුගේ ප්‍රමුඛ පෙළේ තේරීම වන්නේ තම ආරම්භක පිතිකරුවන් යුගලයයි. ඒ දකුණතින් පන්දුවට පහර දෙන Max O’Dowd සහ වමතින් පන්දුවට පහර දෙන Vikramjit Singh. ඔවුන් දෙදෙනාට අමතරව ඔවුන්ගේ පෙර තරගයේ වීරයා වූ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Bas de Leede ද වෙනවා.

ඊට අමතරව Tom Cooper, Fred Klaassen සහ Tim Pringle ද නෙදර්ලන්තය සතු දක්ෂ හේවායන් ලෙසින් ඉදිරියෙන් ම සිටිනවා. ඔවුන් මේ තරගාවලියේ දැනටමත් සුවිශේෂී කඩඉමක් පසු කර ඇති බැවින්, මේ තරගයේ දී ඔවුන්ගේ බලාපොරොත්තුව විය හැක්කේ අපරාජිත කිරුළ දරා ගනිමින් සුපිරි 12 වටය නියෝජනය කිරීමයි. එතැන දී ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ම තමන්ගේ සුපිරි ම කණ්ඩායම ම ක්‍රිකට් රණ බිමට එක් කරනු ඇත.

2008 වසරේ සිට විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වී ඇති නෙදර්ලන්තය මේ දක්වා තරග 92කට සහභාගී වී තිබෙනවා. ඉන් තරග 47ක් ජයග්‍රහණය කරන ඔවුන් තරග 40ක් පරාජයට පත්ව තිබෙනවා. ඒ අතර තරග 2ක් ලකුණු සම වීමෙන් අවසන් කරද්දී තවත් තරග 3ක් විසඳුමකින් තොරව නිමා කර තිබෙනවා.

1996 වසරේ සිට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන නෙදර්ලන්තය ඉන් වඩාත් ම සාර්ථක ගමනක් යන ලෝක කුසලානය ලෙස මෙම වසර පත්ව තිබිම ශ්‍රී ලංකාවට  තවත් අභියෝගයකි.

තරගයට පිවිසෙතැයි අපේක්ෂිත නෙදර්ලන්ත කණ්ඩායම: Max O’Dowd, Vikramjit Singh, Bas de Leede, Tom Cooper, Colin Ackermann, Scott Edwards (නායක සහ කඩුලු රකින්නා), Tim Pringle, Roelof van der Merwe, Timm van der Gugten, Fred Klaassen, Paul van Meekeren

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<