පාසල් රග්බි ඇතුළු සියල්ල අවලංගු කරයි

1282

රට තුළ නැවතත් උද්ගතව ඇති කොරෝන වසංගත ව්‍යාප්තිය නිසාවෙන් පාසල් ක්‍රීඩා පිටියේ මෙම වසරේ (2020) පැවැත්වීමට තිබූ සියලූම ක්‍රීඩා තරග හා එයට සම්බන්ධ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නවතා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් විසින් අදාළ සෞඛ්‍ය අංශ සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂක දයා බණ්ඩාර මහතා ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව දයා බණ්ඩාර මහතා එම තීරණය පිළිබඳව දැනුම් දෙමින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම වසංගතයේ නැවත පැතිර යාමත් සමඟ පාසල් දරුවන් එය හා ගැටීමේ අවදානමකට ලක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකරන බවයි.

එසේ නමුත් මෙම කොරෝන වසංගතයේ නව රැල්ල ඇරඹීමට පෙර පාසල් ක්‍රීඩා පිටියේ ඉසව් නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට අධ්‍යාපනය අමාත්‍යාංශ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡා කිහිපයක්ම පැවති අතර නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඔක්තෝබර් මස අවසානයෙන් පසුව පාසල් ක්‍රීඩා පිටියේ තරග ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට එම අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් කැඳවීමට ද කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම ප්‍රකාශයත් සමඟින් 2020 අදාළ පාසල් ක්‍රීඩා පිටියේ කටයුතු නිල වශයෙන් අවසන් වන අතර මෙම වසර අවසන් වන තුරු කිසිදු තරගයක් නොපැවැත්වෙන බව ද තහවුරු වේ.

තවත් රග්බි පුවත්:

පාසල් රග්බි 2020 අවසානය 

මෙම පාසල් ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම් ලබන වසර තෙක් අවලංගු කිරීමත් සමඟ පසුගිය මාර්තු මස ආරම්භ කර කොරෝන වසංගතය නිසාවෙන් දින නියමයකින් තොරව කල්දැමීමට සිදු වූ Dialog Schools Rugby League 2020 තරගාවලිය ද මෙම වසරේ පැවැත්වීමට නොහැකිවනු ඇත.

මාර්තු මස ආරම්භයෙන් සති දෙකක පමණ කාලයකින් පසුව කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමුණු මෙම පාසල් රග්බි තරගාවලිය මෙම මස (ඔක්තෝබර්) පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පසුව පැවැත්වීමට මීට පෙර අවධානය යොමු කර තිබූ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගත් මෙම තීරණයත් සමඟින් මෙවර තරගාවලිය නිල වශයෙන් අවසන් කිරීමට සිදු වනු ඇත.

කෙසේ නමුත් මෙම මස 31 වැනිදා පැවැත්වීමට නියමිත Dialog Inter-Club 7’s තරගාවලිය පිළිබඳව කිසිදු නිල තීරණයක් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් මේ දක්වා ගෙන නොමැත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<