Lahore Qalandars විසින් PSL පිටිය හයේ පහරින් නහවයි!

PSL 2023

211

ඊයේ දිනයේ (26) පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 15 වැනි තරගය පැවැත්වුණු අතර, එය PSL ඉතිහාසයේ වාර්තාගත තරගයක් ලෙස ඉතිහාස ගත වුනා.

මෙම තරගය Babar Azamගේ නායකත්වයෙන් යුත් Peshawar Zalmi සහ Shaheen Shah Afridiගේ නායකත්වයෙන් යුත් Lahore Qalandars කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු අතර, මෙහි දී Peshawar Zalmi නියෝජනය කරමින් භානුක රාජපක්ෂ තරගයට ක්‍රීඩා කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Lahore Qalandars කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 7ක දී දැවී ගිය නමුත් පසුව පිටියේ එක් වූ Fakhar Zaman සහ Abdullah Shafique විසින් Qalandars ඉනිම අතිශය ශක්තිමත් මට්ටමකට ගෙන ඒමට සමත් වුනා.

එහි දී Abdullah Shafique විසින් පන්දු 41කින් ලකුණු 75ක් ලබා ගත් අතර, අනෙක් අන්තයෙන් පිතිකරණයේ යෙදුණු Fakhar Zaman විසින් පන්දු 45කින් ලකුණු 96ක් ලබා ගැනීමට සමත් වුනා. එහි දී Zamanගේ ඉනිමට හතරේ පහර් 3ක් සහ දැවැන්ත හයේ පහර 10ක් අන්තර්ගත වුනා.

Zamanට අවාසනාවන්ත ලෙස ශතකය අහිමි වීමෙන් පසුව Qalandars ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු වීමට ඉඩ නොදී රැක ගත් Sam Billings පන්දු 23කින් ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුනා.

මෙම ඉනිමේ දී Lahore Qalandars විසින් හයේ පහර 18ක් එල්ල කිරීමට සමත් වූ අතර නියමිත පන්දුවාර විස්ස අවසන් වන විට කඩුලු තුනක් දැවී ලකුණු 241ක් රැස් කර ගැනීමට ඔවුන් සමත් වුනා.

මෙම ඉනිම PSL ඉතිහාසයේ කණ්ඩායමක් විසින් රැස් කළ තෙවැනියට විශාලතම ඉනිම ලෙස ද වාර්තා අතරට එකතු වුනා.

Zalmi වෙනුවෙන් පන්දු යැවීමේ දී Wahab Riaz විසින් ලකුණු 45කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි Peshawar Zalmi කණ්ඩායමේ මුල් කඩුලු 2 ම ලකුණු 28ක් වන විට දැවී ගිය නමුත් පසුව පිටියේ එක් වූ Saim Ayub සහ Tom Kohler-Cadmore විසින් Zalmi ඉනිම ඉතා හොඳ තත්වයක් වෙත රැගෙන ඒමට සමත් වූ අතර, එහි දී Cadmore විසින් පන්දු 23ක් තුල දී ලකුණු 55ක් රැස් කිරීමට සමත් වූ අතර, Ayub  විසින් ලකුණු 51ක් Zalmi ඉනිමට එකතු කළා.

ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ සහ Rovman Powell පිළිවෙළින් ලකුණු 24ක් සහ ලකුණු 21ක් රැස් කළ නමුත් එය Zalmi කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත ගෙන යාමට සමත් වුනේ නැහැ.

ඊයේ තරගයේ දී දසුන් ශානක වෙනුවට Zalmi කණ්ඩායමට එක්වූ භානුක විසින් මෙතෙක් කල් රැකි නිහඬතාව බිඳිමින් වේගවත් ඉනිමක් දියත් කිරීමට උත්සාහ කළත්, හතරේ පහර තුනක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමෙන් පසු තවත් හයේ පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේ දී ඔහු දැවී ගියා.

Zalmi ඉනිමේ පසුපෙළ ඉක්මනින් බිඳ වැටීම නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 201ක් පමණයි. ඒ වන විට Peshawar Zalmi ඉනිමේ කඩුලු 9ක් බිඳ වැටී තිබූ අතර, එම දැවී ගිය කඩුලු අතරින් 5ක්ම Qalandars නායක Shaheen Afridi නමට ලියැවී තිබුණා.

ඒ අනුව Peshawar Zalmi පරාජය කර ලකුණු 40ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Lahore Qalandars සමත් වූ අතර, Fakhar Zaman තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

තරගාවලියේ 16 වැනි තරගය අද Lahore Qalandars සහ Islamabad United කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<