Beijing මැරතන් තරගයත් අවලංගුයි

74
 

පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් චීනයේ බීජිං නුවර වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට ක්‍රීඩා තරගාවලියක් වන Beijing මැරතන් තරගයේ මෙම වසරේ අදියර අවලංගු කිරීමට තීරණය කළ බව එහි සංවිධායකයින් ඊයේ (03) දැනුම් දෙන ලදි.

Beijing මැරතන් තරගාවලියේ පෙර අදියරන් සෑම වසරකම සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලසීමාවේ දී පැවැත්වීමට කටයුතු කළ නමුත් තරගාවලියේ 40 වැනි අදියර වන මෙවර තරගාවලිය කොරෝනා වසංගත තත්වයේ බලපෑම නිසාවෙන් නිල වශයෙන් අවලංගු කිරීමට තීරණය කර ඇත.

1981 වසරේ දී මුල්ම අදියර පවත්වමින් ආරම්භ වූ මෙම Beijing මැරතන් තරගය චීනයේ පැවැත්වූ මුල්ම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිය ලෙස ද හැදින්විය හැකි අතර මෙම තරගාවලිය සඳහා වාර්ෂිකව ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වේ.

එමෙන්ම Beijing මැරතන් තරගාවලිය ආරම්භ වීමෙන් පසු විවිධ අභියෝග රැසක් ජය ගනිමින් අදියර 39ක් නොකඩවා තරගාවලිය පැවැත්වීමට එහි සංවිධායකයන් සමත් වූ නමුත් ඉතිහාසයේ මුල්ම වරට මෙවර (2020) තරගාවලිය අවලංගු කිරීමට ඔවුන්ට සිදුව ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්:

පසුගිය වසර අවසානයේ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ මෙම කොරෝනා වසංගතය නිසාවෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත පුද්ගලයන් හට පීඩා විදීමට සිදු වූ අතර මෙම වසරේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් උළෙල ඇතුළු ක්‍රීඩා තරගාවලි බොහොමයක් කල් දැමීමට හෝ අවලංගු කිරීමට ද ඔවුන්ට සිදු විය.

එම තත්වය නිසාවෙන් මැරතන් තරග රැසකටම බාධා එල්ල වන්නට වූ නිසාවෙන් ලොව ප්‍රමුඛ පෙළේ මැරතන් තරග වන බොස්ටන්, චිකාගෝ ඇතුළු මැරතන් තරගාවලි රැසක් අවලංගු කිරීමට සිදු වූ අතර ලන්ඩන් මැරතන් තරගය ඇතුළු තරග කිහිපයක් සුපිරි ක්‍රීඩක කාණ්ඩයට පමණක් සීමා කර පැවැත්වීමට කටයුතු කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<