වත්මන් සභාපති නිතරගයෙන් නැවතත් ඔලිම්පික් මුලසුනට

123

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා වන Thomas Bach ලබන වසරේ පැවැත්වීමට නියමිත නව සභාපතිවරයා තේරීමේ ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වෙමින් නැවත වරක් ඔලිම්පික් මුල් පුටුව සඳහා තරග කිරීමට තීරණය කර ඇත.

එම ඡන්ද විමසීම ලබන වසරේ (2021) මාර්තු මාසයේ දී ඇතෑන්ස් නුවර දී පැවැත්වෙන ඔලිම්පික් විධායක කමිටු රැස්වීමේ දී සිදු කිරීමට නියමිතව ඇති නමුත් මීළඟ සභාපතිවරයා ලෙස තරග වැදීමට ඉදිරිපත් වී ඇත්තේ වත්මන් සභාපති Thomas Bach පමණක් බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඊයේ (01) දින නිවේදනය කරන ලදි.

ඒ අනුව Thomas Bach නැවත වරක් ඔලිම්පික් සභාපතිවරයා ලෙස පත්වනු ඇති අතර ලබන වසරේ පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙලෙන් අනතුරුව නව සභාපති ධුර කාල සීමාව ආරම්භ වීමට නියමිතව ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්:

Thomas Bachගේ වත්මන් ධුර කාලසීමාව ලබන වසරෙන් අවසන් වීමට නියමිතව ඇති අතර මීළඟ සභාපතිවරයා ලෙස ද ඔහු තේරී පත්වුවහොත් 2025 දක්වා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මුලසුන ඔහු සතුවනු ඇත.

නැවත වතාවක් ඔලිම්පික් සභාපති ධුරය සඳහා ඉදිරිපත් වීම සහ එය සඳහා ඉදිරිපත් වූ එකම තරගකරුවා ඔහු වීම පිළිබඳව සිය අදහස් දැක්වූ වත්මන් සභාපති Thomas Bach ප්‍රකාශ කර සිටියේ, තමන්ට එරෙහිව කිසිවෙකු තරග නොකිරීම පිළිබඳව තමන් ආඩම්බරයට පත්වන බවයි.

“අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් කැමති නම් මම නැවත වරක්, දෙවන වතාවටත් ඔලිම්පික් සභාපති ධුරය සඳහා තරග වැදීමට සූදානම්. ඒ වගේම ඔබ මම සහ සැවොම ආදරය කරන ඔලිම්පික් සඳහා තවත් වසර හතරක් මගේ සේවය ලබා දෙන්න මම සූදානම්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

1976 වසරේ ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ Thomas Bach ජර්මන් ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය ද දැරූ අතර 1991 වසරේ ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙකු බවට පත් වූ ඔහු 2013 වසරේ දී හිටපු සභාපති Jacques Rogge පරාජය කරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත්වීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<