11 වන වරට සංවිධාන කෙරෙන රන් සටන සඳහා කොළඹ මහානාම විද්‍යාලය මෙවර පිවිසෙන්නේ වඩාත් ශක්තිමත් ලෙස දිස්වන කණ්ඩායමක් සහ ජයග්‍රහණය සඳහා වැඩි වාසියක් ද සමඟයි. කෙසේ වෙතත් ඩී. එස්. සේනානායක විද්‍යාලය තම අපරාජිත මහා ක්‍රිකට් තරග වාර්තාව තවදුරටත් ආරක්ෂා කර ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් මාර්තු 24 සහ 25 දෙදින තුළ කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

නාලන්ද ඉතිහාසයේ වෙනසක් ද? ආනන්ද ප්‍රතිඵලයේ වෙනසක් ද?

සුලෝහිත සංග්‍රාමයට සමගාමීව සංවිධානය කරන වාර්ෂික එක්දින තරගයේ දී ආනන්ද විදුහල් කණ්ඩායම ජයග්‍රහණය සඳහා වැඩි වාසි සමඟින් පිටියට පිවිසුනත්, මෑත…

තරගාවලි ඉතිහාසය.

කොළඹ නගරයේ ප්‍රධාන පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතුරින් සාපේක්ෂව ඉතා කෙටි ඉතිහාසයකට පමණක් උරුමකම් කියුව ද, රන් සටන තුල තරගකාරීත්වය නොඅඩුව දක්නට ලැබී තිබේ.  යන්තමින් දශකය ඉක්මවන කොළඹ ඩී. එස්. – මහානාම මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ ජය පැරදුම විසඳුණු තරගයක් වාර්තා වූයේ එක් වරක් පමණි. ඒ 2014 වසරේ දී වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු ඩී. එස්. සේනානායක විද්‍යාලය ජයග්‍රහණය කළ මහා ක්‍රිකට් තරගයයි. අනෙක් තරග 9 ම ජය පරාජයෙන් තොරව අවසන් විය.

වසර 60ක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ මහානාම විද්‍යාලයත් ශ්‍රී ලංකාවට ජාතික මට්ටමේ ක්‍රිකට් තරු දායාද කළ තෝතැන්නකි. ධනුෂ්ක ගුණතිලක සහ ලලිත් ප්‍රනාන්දු ඊට උදාහරණ සපයන අතර අනාගතයේ ද, තවත් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීමේ පෙර ලකුණු ද මහානාම විදු බිමෙන් දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම දකුණත් පිතිකරුවා වන අරවින්ද ද සිල්වාගේ ක්‍රිකට් තිඹිරි ගෙය වූ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් ක්‍රිකට් අත් පොත් තැබූ ජාතික ක්‍රීඩකයන් අතරට හිටපු ක්‍රිකට් නායකයෙකු වන හෂාන් තිලකරත්න මෙන්ම වත්මන් ක්‍රීඩකයන් වන ඉසුරු උදාන සහ බිනුර ප්‍රනාන්දු ද ඇතුළත් වෙයි.

මහානාම විද්‍යාලය

මහානාම විද්‍යාලය මෙවර පාසල් තරග වාරය තුල කැපී පෙනෙන දස්කම් සමඟින් සිංගර් කුසලාන දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමේ වටය (Pre-Quarter Finals) දක්වා පැමිණෙන්නට සමත් වී තිබේ. ඒ අදාළ තරගාවලියේ පළමු වටය තුල දී තමන් තරග කළ ‘බී’ කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වෙමිනුයි.

තුන් වන වසරේ වර්ණ ලාභියෙකු වන කඩුලු රකින ක්‍රීඩක සහ පිතිකරු මලිඳු මධුරංග මෙම තරග වාරයේ දී මහානාම විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. මෙවර තරග වාරයේ දී මලිඳුගේ පිත්තෙන් වාර්තා වී ඇති ලකුණු 960 තුළ ශතක 5ක් සහ අර්ධ ශතක 3ක් අන්තර්ගත වෙයි. හොඳ ආරම්භයක් දීර්ඝ ඉනිම බවට පත් කර ගැනීමේ හැකියාව ඇති මලිඳු මෙවර තරග වාරයේ තම හොඳම ඉනිම ලෙස ලකුණු 184ක් ලබා ගැනීමට සමත් වී තිබෙන අතර මහානාම කණ්ඩායම මෙන්ම පිතිකරණ බල ඇණිය මෙහෙයවීමේ වගකීම ද ඔහුට පැවරෙනු ඇත.

ශතකයක් ඇතුළුව ලකුණු 500 සීමාව ඉක්මවා සිටින කවිඳු විලෝචන මහානාම කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි.

ඩී. එස්. – මහානාම ක්‍රිකට් සටන 11 වන වරටත්

කොළඹ ඩී. එස්. සේනානායක සහ මහානාම විද්‍යාල අතර 11 වන රන් සටන මහා ක්‍රිකට් තරගය මේ මස 24 සහ 25 දෙදින තුල කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

වේගයෙන් පන්දුවට පහර දිය හැකි දකුණත් පිතිකරුවෙකු ලෙස ප්‍රකට හෂාන් නිලීක මෙම තරග වාරය තුළ ලකුණු 560ක් ලබාගෙන ඇත්තේ ශතකයක් ද සමඟයි. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස ද කටයුතු කරන ඔහු කඩුලු 17කට ද හිමිකම් කියයි.

මහානාම පන්දු යැවීමේ අංශයේ ප්‍රධාන බලාපොරොත්තුව ලෙස වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අශාන් සංදීප හැඳින්විය හැක. මෙවර තරග වාරයේ දී කඩුලු 56ක් දවාගෙන ඇති ඔහු වරෙක එක් ඉනිමක දී ලකුණු 63කට කඩුලු 6ක් බිඳ හෙලන්නට ද සමත් වී තිබේ. එමෙන්ම මෙවර මහානාම කණ්ඩායමේ රහස් අවිය ලෙස සැලකෙන්නේ ජාතික කනිෂ්ඨ කණ්ඩායමේ නායකත්වය පවා දරා තිබෙන 14 හැවිරිදි පවන් රත්නායකයි.

මහානාම සංචිතය.

මලිඳු මධුරංග (නායක), කවිඳු විලෝචන, නිදුක වැලිකල, හේෂාන් නිලීක, විහාන් මුදලිගේ, හර්ෂණ විතාන, පැතුම් බොතේජු, චලිත සුබසිංහ, සදීෂ ගමගේ, පවන්ත වීරසිංහ, චමල් පොල්ගම්පොල, අශාන් සංදීප, මහේල ද සිල්වා, බිෂාන් මෙන්ඩිස්, පවන් රත්නායක, යසිරු අස්තුරිආරච්චි, වත්සලා පෙරේරා, විනුක රංජන, දිලීෂ තුඩුවගේ.

ඩී. එස්. සේනානායක විද්‍යාලය

ඩී. එස්. සේනානායක කණ්ඩායම මෙවර තරග වාරයේ දී ක්‍රීඩා කර තිබෙන තරග 14න් පූර්ණ ජයග්‍රහණ දෙකක් වාර්තා කර ඇති අතර ඔවුන් සතු පළමු ඉනිමේ ජයග්‍රහණ 6 තුළ ප්‍රබල නාලන්ද සහ ත්‍රිත්ව විදුහල් වලට එරෙහිව ක්‍රීඩා කල තරග දෙකක් ද ඇතුලත්ය.

ඩී. එස්. සේනානායක කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ කණ්ඩායමේ වඩාත්ම අත්දැකීම් සහිත ක්‍රීඩකයා ද වන ටොරීන් පිටිගලයි. ආබාධයක් හේතුවෙන් මෙවර පාසල් තරග වාරයේ වැඩි කොටසක් අහිමිව ගිය ද, සුවය ලැබීමෙන් පසු වසරේ උත්කර්ෂවත් තරගය සඳහා කණ්ඩායමේ වගකීම භාර ගෙන සිටින ටොරීන් 11 වන රන් සටනේ පෙරළියක් කිරීමේ අදිටනින් පසු වනු ඇත.

ඉනිමක ලකුණු සාමාන්‍ය 30 සීමාව රඳවා ගනිමින් මෙවර තරග වාරයේ දී ලකුණු 600ක් රැස් කරගෙන සිටින ශේසාඩ් අමීන් ඩී. එස්. කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කරන අතර ඔහු සමඟින් ඩී. එස්. පිතිකරණය ශක්තිමත් කරන විහාන් ගුණසේකර පිත්තෙන් වාර්තා කර ඇති ලකුණු 610ට අමතරව කඩුලු 48ක් බිඳ හෙලන්නට ද සමත් වී තිබේ.

කඩුලු රකින ක්‍රීඩක ශෂික ගමගේ මෙන්ම දසුන් පෙරේරා ද මෙවර තරග වාරයේ දී ලකුණු 500 සීමාව පසු කරන්නට සමත් වී ඇති අතර, ඩී. එස්. සේනානායක කණ්ඩායමේ ද වැඩිම කඩුලු ලාභියා වන්නේ වමත් දඟ පන්දු යවන්නෙකුම වීම විශේෂත්වයකි. මුදිත ලක්ෂාන් කඩුලු 69ක් සමගින් එම වාර්තාවට හිමිකම් කියයි.

ඩී. එස්. සේනානායක සංචිතය

ටොරීන් පිටගල (නායක), ශේසාඩ් අමීන්, තත්සර බණ්ඩාර, විහාන් ගුණසේකර, ගීතාංජන ඩැනියල්, දීමන්ත කෞශල්‍ය, ඉනෝෂ ගුණවර්ධන, ශෂික ගමගේ, පසිඳු ආදිත්‍ය, මෙත්සිත් ජයමාන්න, කවිඳු ඩිල්ශාන්, දසුන් පෙරේරා, පසිඳු චානක, මුදිත ලක්ෂාන්, සචින්ත හෙට්ටිගේ, කලන හෙට්ටිආරච්චි, ලහිරු සමරනායක, ඩිල්ශාන් ලාහීර්, ටෙරෝන් බාස්කරන්, යසිත් සමරදිවාකර.

සාරාංශය

කණ්ඩායම් දෙකම 11 වන රන් සටනට පිවිසෙන්නේ ජයග්‍රහණය සඳහා අවස්ථාවක් සමඟයි. කෙසේ වෙතත් කණ්ඩායම් සහ මෙම තරග වාරය දෙස බලන කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයට වඩා මදක් ඉදිරියෙන් මහානාම කණ්ඩායම පසු වන බව පෙනී යන කරුණකි. එබැවින් ඔවුන් මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමේ අරමුණ ඇතිව මෙම තරගයට පිවිසෙනු ඇත.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න