ගවිරු සෙහස්ගෙන් ඉතිහාසගත ද්විත්ව ශතකයක්!

18th Battle of the Golds 2024

79

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 18 වැනි වරට පැවැත්වෙන “රන් මහා ක්‍රිකට් සටන” මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය තුළ ඉතිහාසගත ඉනිමක් දියත් කිරීමට ඩී.එස් නායක ගවිරු සෙහස් විසින් සමත් වුනා. 

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී අද (29) උදෑසන ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය මහානාම නායක දුවිඳු රණතුංග සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් යුතුව ඩී.එස් ක්‍රීඩකයින් තරගයේ පළමු ඉනිම ආරම්භ කළා. 

මෙහි දී ඩී.එස් විද්‍යාලය වෙනුවෙන් නායක ගවිරු සෙහස් සහ පෙසඳු වීරසිංහ ඉනිම ආරම්භ කළ අතර, එම සබඳතාව ලකුණු 55කට සීමා වූ නමුත් ඉන් පසුව ගවිරු සමඟ කඩුල්ලේ එක් වූ මලිත පෙරේරා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 248ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. 

මෙහි දී මලිත පෙරේරාගේ පිත්තෙන් ලකුණු 118ක් වාර්තා වූ අතර, පන්දු 152ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 16ක් අන්තර්ගත වුනා. 

මලිතගේ දැවී යාමෙන් පසුව ද ගවිරු නොකඩවා සිය ඉනිම දියත් කළ අතර, ඩී.එස් සේනානායක විද්‍යාලය සිය පළමු ඉනිම ලකුණු 370කින් නතර කරන විට ගවිරු සෙහස් සිය ද්විත්ව ශතකය ද සම්පූර්ණ කර ගැනීමට සමත් වුනා. 

පාසල් ක්‍රිකට් මහා තරග ඉතිහාසයේ ක්‍රීඩකයකු විසින් ද්විත්ව ශතකයක් වාර්තා කළ පස් වැනි අවස්ථාව ලෙස මෙය සටහන් වූ අතර, ඩී.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩකයකු විසින් මහා ක්‍රිකට් තරගයක ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසත් මෙය වාර්තා අතරට එක් වුනා. 

මීට පෙර තුෂාර කොඩිකාර ( 219 – මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය), ග්‍රේෂන් ලියනගේ ( 207 – මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය),  ක්ලයිව් ඉන්මන් (204 – බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය), සේනක දිසානායක (200- මහනුවර ධර්මරාජ විද්‍යාලය) යන ක්‍රීඩකයින් මෙසේ මහා ක්‍රිකට් තරගවල දී ද්විත්ව ශතක වාර්තා කිරීමට සමත් වුනා. 

ගවිරුගේ මෙම ද්විත්ව ශතකය පන්දු 182ක් තුළ වාර්තා වූ අතර ඒ වෙනුවෙන් හතරේ පහර 27ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුනා. මෙහි දී ඔහු විසින් සිය ශතකය වාර්තා කිරීමට වැය කළේ පන්දු 72ක් පමණක් වීම තවත් විශේෂත්වයක්. 

මෙම ඉනිමේ දී මහානාම විද්‍යාලය වෙනුවෙන් දුවිඳු රණතුංග සහ චාමික හීනටිගල කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුනා.

ඩී.එස්. සේනානායක පළමු ඉනිම අත් හිටුවීමෙන් පසුව මහානාම විද්‍යාලය එයට පිළිතුරු සැපයීම සඳහා පිටියට පිවිසුණු අතර, දිනය අවසන් වන විට ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

මේ වෙනුවෙන් මහානාම ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා නොදැවී ලකුණු 48ක් එක් කිරීමට සමත් වූ අතර, දිනය අවසන් වන විට ඔහු සමඟ ලකුණු 10ක් ලබා ගනිමින් චාමික හීනටිගල නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වී සිටියා. 

මහානාම විද්‍යාලයේ දැවී ගිය කඩුලු 2ම අක්මාල් ෆස්ලි සතු වුනා. 

තරගයේ දෙවන සහ අවසන් දිනය හෙට (30) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

තරගයේ සියලු තතු විත්ති  ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<