දෙවැනි වැඩේට දෙවැනිදාම යොදා ගැනීම අවුලක් – ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය

134

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් දෙවැනි වරටත් පැවැත්වෙන යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය (Yonex Sunrise Sri lanka International Challenge – 2015) ජුනි 2 වැනිදා සිට 6 වැනිදා ආරම්භවීමට නියමිතව තිබුණද ඊට අදාළව අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට ජාතික හා රාජ්‍ය මට්ටමෙන්ද වැදගත් දිනයක් වන පොසොන් පොහොය දිනයේදීම (ජුනි 2 වැනිදා) ආරම්භ වීම හේතුවෙන් ප්‍රේක්‍ෂක සහභාගිත්වය අවම වීම හා බොහෝ ක්‍රීඩකයන් හට ප්‍රායෝගිකව ගැටලු මතුවීම මෙන්ම තවත් නොබෝ දිනකින් ආරම්භ වන මෙම තරගාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා සංචිතයක් පවා මේ වනවිටත් තවමත් පිහිටුවා නොතිබීමද එකී අර්බුදකාරී වටපිටාවක් නිර්මාණය වීමට හේතු සාධක වී ඇත.

“මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක් පවත්වනවා නම් අවම වශයෙන් ඊට මාස 3කටවත් පෙර පුහුණු සංචිතයක් ආරම්භ කර එම සංචිතය පුහුණු කළ යුතුයි. මේ දක්වා සංචිතයක්වත් එම සංචිතය පුහුණු කරන්න පුහුණුකරුවෙක්වත් සංගමයට නැහැ” යනුවෙන් බැඩ්මින්ටන් ක්‍ෂේත්‍රයේ කිහිපදෙනකු පෙන්වා දුන් කරුණක් විය.

“පොසොන් උත්සවය කියන්නේ රජයේ විශේෂ නිවාඩු දිනයක්. අපේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට ප්‍රවාහන පහසුකම් වුණත් සපයා ගන්න අමාරුයි. ඒ වගේම මේ දිනයේදී පොසොන් පෝයට අදාළ වැඩසටහන් දියත් වන නිසා මෙම තරගාවලියේ අනුග්‍රාහකයන්ට දැඩි පාඩුවක් සිදුවේවි” යනුවෙන්ද ඔවුන්ගේ අදහසය.

මේ අතර මේ දිනවල ජාතික කනිෂ්ඨ කලාප තරගද, ජුනි 6 වැනිදා අවුරුදු 19න් පහළ ජාතික පාසල් පළාත් තරගද පැවැත්වෙන බැවින් සංගමයේ නිලධාරීන් එම තරගාවලියන් සඳහා අවධානයක් යොමු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ සංවිධාන කටයුතු මන්දගාමී වී ඇති බවද වාර්තා වේ. පළමුවරට පසුගිය වසරේ ජුනි මාසයේදී පැවැති මෙම තරගාවලිය සඳහා රටවල් 16ක් නියෝජනය කර තිබූ නමුත් මෙවර එම සංඛ්‍යාව මේ වනවිටත් 25 දක්වා වැඩි වී ඇති අතර, සමස්ත ත්‍යාග මුදල් ඩොලර් 15,000ක් වන බවද පැවැසේ.