ලෝක කුසලානය ඉලක්ක කර ඉන්දීය ක්‍රීඩාංගණ අලුත් වෙයි

1771

මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ඉන්දීය ක්‍රීඩාංගණ පහක් අලුත්වැඩියා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම ක්‍රීඩාංගණ අලුත්වැඩියාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 500ක මුදලක් වෙන් කර ඇති අතර බොහෝ ක්‍රීඩාංගණවල පැවති දුර්වල පහසුකම් පිළිබඳ පසුගිය කාල සීමාවේ පැමිණිලි ද යොමුව තිබුණා.

නිමා වූ ඕස්ට්‍රේලියා තරග සංචාරයේ දී රසිකයින් විසින් දිල්ලි ක්‍රීඩාංගණයේ දුර්වල වැසිකිළි පිළිබඳ විශාල විරෝධයක් පල කර තිබූ අතර එම ක්‍රීඩාංගණය ද අලුත්වැඩියා කිරීම සඳහා ඇතුළත් ක්‍රීඩාංගණවලට අයත් වෙනවා.

මෙම ක්‍රීඩාංගණයට අමතරව හයිද්‍රාබාද්, මුම්බායි, කල්කටා සහ මොහාලි යන නගරවල පිහිටි ක්‍රීඩාංගණ අලුත් වැඩියා කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම ලැයිස්තුවට ඇතුළත් මුම්බායි හී Wankhede ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයින්ගේ පැමිණිලි නිසා පසුගිය මාසයේ දී අර්ධ ලෙස අලුත්වැඩියාවකට ලක් කිරීමට ද බලධාරීන් කටයුතු කළා.

එක් ක්‍රීඩාංගණයක් අලුත් වැඩියා කිරීමට ආසන්න වශයෙන් කෝටි 100ක මුදලක් වැය වන බව ගණන් බලා ඇති අතර දිල්ලි ක්‍රීඩාංගණයේ ඇති ව්‍යුහාත්මක දෝෂ නිසා එහි පිරිවැය විශාල ලෙස වැඩි වීමට ඉඩ ඇතැයි වාර්තා වෙනවා.

වර්තමාන ගණන් බැලීම් අනුව දිල්ලි ක්‍රීඩාංගණයට කෝටි 100ක්, හයිද්‍රාබාද් ක්‍රීඩාංගණයට කෝටි 117ක්, කල්කටා ක්‍රීඩාංගණයට කෝටි 127ක්, මොහාලි ක්‍රීඩාංගණයට කෝටි 79.46ක් සහ මුම්බායි ක්‍රීඩාංගණයට කෝටි 78ක් ලෙස වෙන් කර තිබෙනවා.

මෙවර ලෝක කුසලානය සඳහා Bengaluru, Chennai, Delhi, Dharamsala, Guwahati, Hyderabad, Kolkata, Lucknow, Indore, Rajkot, Mumbai,  Ahmedabad යන ක්‍රීඩාංගණ 12ක් වෙන් කර ඇති අතර අවසන් මහා තරගය Mumba හෝ Ahmedabad ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

දින 46ක් පුරා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත් වන අතර අවසන් වරට එක්දින ලෝක කුසලානයකට ඉන්දියාව සත්කාරකත්වය ලබා දී ඇත්තේ 2011 වසරේ දීයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<