වසර පහකට පසු ඇෆ්ගනිස්ථානය ඉන්දිය‍ාවට

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

335
Afghanistan likely to tour India

කෙටි තරග සංචාරයක් සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීමට සැලසුම් කරමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

“ඔව්, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයෙන් පස්සේ කෙටි සංචාරයකට ඉන්දියාවට පැමිණීමට සැලසුම් කරමිනුයි තියෙන්නේ,” යැයි ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම ජූලි මාසයේ ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 5ක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය කිරීමට නියමිත අතර ඊට පෙර මෙම ඇෆ්ගනිස්ථාන තරගාවලිය පැවැත්වීමට සැලසුම් කරමින් ඇති බව වාර්තා වෙනවා.

තවමත් එය පැවැත්වීම පිළිබඳ තහවුරු වී නොමැති නමුත් එය පිළිබඳ දෙරටේ ක්‍රිකට් ආයතනය ඉක්මනින් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි ද මාධ්‍ය වාර්තා කරනවා.

මෙය ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට උපකාර කරන ආකාරයට නැවතත් ප්‍රදර්ශනය කරන අතර ඔවුන් විසින් මීට පෙර ඉන්දීය ක්‍රීඩාංගණ තුනක් ඇෆ්ගනිස්ථානයට සිය සත්කාරක ක්‍රීඩාංගණ ලෙස භාවිතා කිරීමට අවසර ලබා දී තිබුණා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමක් අවසන් වරට 2018 වසරේ දී ඉන්දියාවේ දී තරග සංචාරයකට එක් වූ අතර එක් ටෙස්ට් තරගයකින් සමන්විත වූ එම තරගාවලියේ ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 62කින් පරාජය වීමට ඔවුන්ට සිදු වුනා.

කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නොමැති වීම සමඟ ඇෆ්ගනිස්ථානයේ පූර්ණ ක්‍රිකට් සාමාජිකත්වය අහිමි වීමේ අවදානමක් මතුව තිබූ නමුත් එය ඔවුන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගැටලුවක් නොව රජයේ තීරණයක් නිසා ඔවුන්ගේ සාමාජිකත්වය තව දුරටත් රඳවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.

පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා රටවල් සඳහා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පවත්වා ගැනීම අනිවාර්යය වන නමුත් ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලෙයිබාන්වරුන් විසින් පනවන ලද නීති නිසා කාන්තා ක්‍රිකට් ව්‍යාප්ත කිරීම ඇෆ්ගනිස්ථානය තුළ සිදු වන්නේ නැහැ.

මෙම ගැටලුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැඩි ලෙස නිරීක්ෂණය කරන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් විසින් තලෙයිබාන්වරුන් සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් බලධාරීන් මුණ ගැසී මෙම ගැටලුව විසඳීමට කටයුතු කරමින් සිටිනවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<