ICCයෙන් ක්‍රීඩකයෙකුට තහනමක්!

530

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම නිසා ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩක Ali Khan හට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඔහුට අමතරව ඇමරිකා ක්‍රීඩක Jasdeep Singh හට ද සිය තරග ගාස්තුවෙන් 30%ක දඩයක් පැනවීමට සහ දඬුවම් ලකුණු දෙකක් ලබා දීමට ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙන අතර ජර්සි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක Elliot Miles හට ද තරග ගාස්තුවෙන් 15% දඩයක් පනවා දඬුවම් ලකුණක් ලබා දී තිබෙනවා.

අවසන් වරට සහභාගී වූ තරගයේ දී සිදු කළ වරදක් නිසා Ali Khanට දඬුවම් ලකුණක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙන අතර එම ලකුණත් සමඟින් ඔහු නියමිත කාල සීමාව තුළ දඬුවම් ලකුණු 4ක් ලබා ඇති නිසා ඔහුට එම තහනම හිමි වෙනවා.

Jasdeep Singh විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතියේ 2.12 වගන්තිය වන, “ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු, විනිසුරුවරයෙකු හෝ තරග නරඹන්නෙකු සමඟ නුසුදුසු ශාරීරික අභිනයන් පවත්වා ගැනීම,” යටතේ වරදකරු ව තිබෙනවා.

එමෙන්ම  Elliot Miles විසින් ජාත්‍යන්තර තරගයක් තුල අසභ්‍ය වචන භාවිතා කිරීම යන ආචාරධර්ම පද්ධතියේ 2.3 වගන්තිය යටතේ වරදකරු වීම නිසා ඔහුට එම දඬුවමට යටත් වීමට සිදු වෙනවා.

“මෙම ක්‍රීඩකයින් තිදෙනාම සිය වරදවල් පිළිගෙන ඇති අතර ජාත්‍යන්තර තරග තීරක කමිටුවේ Owen Chirombe පනවන ලද සම්බාධක ඔවුන් භාර ගෙන තියෙනවා. ඒ නිසා මෙම සිදුවීම් ගැන නැවත විමර්ශනය කිරීමට අවශ්‍ය නැහැ,” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දිනෙන් දින උණුසුම් වන පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<