LPL තරගාවලියට බංග්ලාදේශ ක්‍රීඩකයින් නැහැ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

741

නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහභාගී වීමට ඉඩක් නොලැබෙන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් මහතා පවසා සිටියි.

බංග්ලාදේශ දේශීය ක්‍රිකට් තරගාවලිය එම කාල වකවානුව තුල පැවැත්වෙන නිසාවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ව LPL තරගාවලිය සඳහා නිදහස් කිරීම සඳහා අසීරු බව නස්මුල් හසන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ඒ අනුව LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් ක්‍රීඩකයින් 150 දෙනා අතර සිටි ශකීබ් අල් හසන්, මුශ්ෆිකර් රහීම්, මහමදුල්ලා රියාද්, මස්ටෆිසුර් රහමාන්, සබීර් රහමාන් සහ මොහොමඩ් සයිෆුඩීන් ඇතුළු බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් එම ලැයිස්තුවෙන් ඉවත් වෙනු ඇත.

තරගාවලියේ සමාරම්භක උළෙල නොවැම්බර් මස 14 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව එදිනම රාත්‍රියේ දී තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වීමට දැනට සැලසුම් කර ඇත.

තරගාවලියේ නිල ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නමුත්, තවමත් නිල වශයෙන් කණ්ඩායම් නාමයක් සහ එහි අයිතිකරුවන් ප්‍රකාශ වී ඇත්තේ ගාල්ල කණ්ඩායමේ (Galle Gladiators) පමණි.

2018 ජනවාරි මාසයේ දී පැවති බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක දී සහ එම වසරේම පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය යටතේ ඔහු ක්‍රීඩා කරනු ලැබූ Sunrisers Hyderabad කණ්ඩායම සහභාගී වූ එක් තරගයක දී වෙනත් පාර්ශවයන් විසින් ඔහු වෙත ඉදිරිපත් කර තිබූ දූෂිත යෝජනාවන් ඔහු විසින් වාර්තා කිරීමට අපොහොසත් වීමට අදාළව ඔහුට මෙම චෝදනා එල්ල විය.

කෙසේ නමුත් ඔක්තෝබර් 28 වැනිදායින් පසුව ශකීබ්ගේ තහනම අවසන් වේ. ඔක්තෝබර් මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නැවත වතාවක් දින නියමයක් නොමැතිව කල් දැමූ බව ඊයේ (28) දිනයේ දී නිල වශයෙන් ප්‍රකාශයට පත් වූ අතර ඒ අනුව එම තරගාවලිය ද මේ වසරේ දී නොපැවැත්වෙනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න;

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට සහභාගි වීමේ උනන්දුවෙන් පසුවන අතර ක්‍රිස් ගේල්, ඩැරන් සැමී, ඩැරන් බ්‍රාවෝ,  ශහිඩ් අෆ්රිඩි, ශකීබ් අල් හසන්, රවී බොපාරා, ජොනී බෙයාර්ස්ටොව්, කොලින් මුන්රෝ, ලුක් රයිට් සහ වර්නැන් ෆිලෙන්ඩර් ඒ අතරින් කැපී පෙනෙන ක්‍රීඩකයෝ වෙති.

මේ විදෙස් ක්‍රීඩකයින් 150 තුල අසල්වැසි ඉන්දියාවෙන් ක්‍රීඩකයින් සිව්දෙනෙක් සිටින අතර පාකිස්තානයේ ක්‍රීඩකයින් 24 දෙනා අතර ඉහළම මුදලකට කාණ්ඩගත වී තිබෙන පාකිස්තානු ක්‍රීඩකයා වන්නේ ශහීඩ් අෆ්රිඩි වේ.

ඔහු Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා වන අතර ඔහු ඇමරිකන් ඩොලර් 60,000 කාණ්ඩයේ සිටින ක්‍රීඩකයෙකි. ඊට අමතරව එම කාණ්ඩය සඳහා වර්ගීකරණය වී සිටින ක්‍රීඩකයින් අතර ෆෆ් ඩු ප්ලේසි සහ ක්‍රිස් ගේල් දෙදෙනා ද සිටින බව වාර්තා වේ.

අෆ්රිඩිට අමතරව පාකිස්තානය නියෝජනය කරමින් ශොයිබ් මලික් ($50,000), මොහොමඩ් අමීර් ($40,000), මොහොමඩ් හෆීස් ($40,000) සහ වහබ් රියාස් ($40,000) ඇතුළු ප්‍රබල පාකිස්තානු ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉහළ වටිනාකමක් තිබෙන කාණ්ඩ සඳහා වර්ගීකරණය වී ඇත.

අන්තර්ජාලය හරහා ඔක්තෝබර් මස පළමු වැනිදා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී තරග වදින කණ්ඩායම් 5 (ගාල්ල, දඹුල්ල, මහනුවර, යාපනය, කොළඹ) සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනෙනු ඇත. කෙසේ නමුත් එම තරගාවලිය පැවැත්වීම ද පවතින්නේ ඉතාමත් අවිනිශ්චිත මට්ටමකයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<