Dialog Rugby 7s දිනූ “සබරගමු හස්තියෝ”

Dialog පාසල් පළාත් සත් සාමාජික රග්බි තරගාවලිය 2021

619

හස්තීන්ගේ ගමන හෙමින්. අරමුණක් කරා යන ගමනේ දී කොතරම් බාධා පැමිණියත්, එම ගමන පාඩුවේ යෑම ඔවුන්ගේ සිරිතක්. ආඩම්බරකාර ලාලිත්‍යයක් ද එහි තියෙනවා.

එවන් කණ්ඩායමකි, තල්දූව බෞද්ධ විද්‍යාලයීය රග්බි කණ්ඩායම. අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ Dialog සත් සාමාජික රග්බි කුසලාන සබරගමුව පළාත් ශූරතාව තෙවැනි වරටත් මෙවර හිමිකර ගැනීමට තල්දූව බෞද්ධ මහා විද්‍යාලය සමත් වුනා.

ඔවුන් මීට පෙර 2017 සහ 2018 වසර ද්විත්වයේ ද මේ ශූරතාවට හිමිකම් කීමට සමත් වුනා. ඊට අමතරව 2019 වසරේ බඳුන ශූරතාව ද, එම වසරේ ම වයස අවුරුදු 18න් පහළ පලඟ ශූරතාව ද ඔවුන් දිනා ගන්නවා.

මෙවර අවසන් මහා තරගයේ දී ඔවුන් වෙතින් පරාජයට පත් වෙන්නේ කෑගලු විද්‍යාලයයි. ඔවුන්ට එරෙහිව ලකුණු 26-05ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා.

“ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ගොඩක් සතුටු වෙනවා. පසුගිය කාලයේ පැවති කොරෝනා තත්ත්වයත් සමඟ පුහුණුවීම් කටයුතු පවා නිසි පරිදි පවත්වා ගෙන යන්න බැරි වුනා. නමුත් ලැබුණ අවස්ථාවන්වල දී සෞඛ්‍ය නීතීන්ට අවනතව පුහුණුවීම් කටයුතු කළා. ළමුන් සියලුම දෙනා විශාල කැපවීමක් කළා. ඒ වගේ ම විදුහල්පතිතුමාගේ මඟ පෙන්වීම යටතේ පුහුණුකරුවන්, කොවිඩ් නිවාරණ නිලධාරිනිය ඒ ආකාරයෙන් ම වෙහෙස වුනා. ඒ මහන්සියේ ප්‍රතිඵලය තමයි මේ”, තල්දූව බෞද්ධ පාසලේ රග්බි භාර ආචාර්ය කේ. එස්. පී. කරුණාරත්න මහතා ThePapare.com සමඟ තම ජයග්‍රහණය ගැන පැවසුවා.

කරුණාරත්න මහතා සබරගමුව පළාතට රග්බි ක්‍රීඩාව හඳුන්වා දීමේ පුරෝගාමියෙක්. තල්දූව බෞද්ධ පාසලේ රග්බි ක්‍රීඩාවේ ද ඔහුට සුවිශේෂී තැනක් හිමි වෙනවා. ඒ ආරම්භයේ සිට ම ඔහු මේ දක්වා ම තල්දූව බෞද්ධයන්ගේ රග්බි ක්‍රීඩාව හා බැඳී සිටි පුද්ගලයෙක් ලෙසින්.

තල්දූව බෞද්ධ පාසලේ රග්බි ඉතිහාසය ආරම්භ වෙන්නේ 1994 වසරේ සබරගමුව පළාතට රග්බි හඳුන්වා දෙන අවධියේ. තල්දූව බෞද්ධ විද්‍යාලය,ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය සහ සීතාවක මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් තමයි මේ ආරම්භය සිදු වෙන්නේ.

එහෙම ආරම්භ වූ රග්බි ක්‍රීඩාවේ රටක් වටින ක්‍රීඩකයන් බිහි කරන්නත් තල්දූව බෞද්ධයන්ට හැකි වෙනවා. ඒ අතරින් ඉදිරියෙන් ම ඉන්නේ සුරංග අරුණශාන්ත සහ සුභාෂිණී කරුණාරත්න. ඔවුන් දෙදෙනා ම ශ්‍රී ලංකා රග්බි පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් නියෝජනය කරනවා. එය තල්දූව බෞද්ධ රග්බි ඉතිහාසයේ වර්ණවත් පරිච්ඡේදයක්.

එමෙන් ම එදා රග්බි ක්‍රීඩකයෙක් ලෙසින් පාසල් පිටියේ දක්ෂතා දැක්වූ අකිල කුලරත්න, අද විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙසින් සේවය කිරීමත් ඔවුන්ගේ ඉතිහාසයේ ඉහළ ම සැමරුමක්. ඊට අමතර ව මෙරට ප්‍රමුඛතම රග්බි කණ්ඩායම් නියෝජනය කරන ආදි තල්දූව බෞද්ධයන් දුසිම් දෙක තුනකට ඉහළ ප්‍රමාණයක් බිහිව තිබීම ද සුවිශේෂයි.

ඒ ඉතිහාසයට එක් වෙන වර්තමානය, ගොඩ නගා ගැනීම අතිශය අපහසු කාර්යයක් වූ බැව් තල්දූව බෞද්ධ පාසලේ රග්බි පුහුණුකරු ශානුක ප්‍රියදර්ශන සෝමරත්න මහතා පැවසුවා.

“මෙවර තරගාවලියට එක් වීමට පෙර ම අපි අභියෝග කිහිපයකට ම මුහුණ දුන්නා. ඉන් පළමුවැන්න අපිට කාලයක් නොතිබීම. තරගාවලිය ගැන කතා වෙන විට අපි Zoom තාක්ෂණය ඔස්සේ පොඩි පොඩි අභ්‍යාස කරමින් සිටියේ. තරගාවලියේ දින නියම වුනාට පස්සේ මාසයක වගේ කාලයක් තමයි එකට එකතු වෙලා පුහුණුවීම් කරන්න ලැබුණේ.

එතැන දී මුහුණ දුන්න ලොකු ම අභියෝගය තමයි කොවිඩ් හදා ගන්නේ නැතිව සිටීම. ඒ වගේම ළමයි ගෙවල්වලින් එවන්නේ නැති එක. නමුත් අපිට ඒ තත්ත්වයන් මඟ හරවගෙන තරගාවලියට මුහුණ දෙන්න සුදුසු වාතාවරණයක් අප තුළත්, ළමයින්ගේ දෙමාපියන් තුළත් ඇති කිරීමට විදුහල්පති පී. ආර්. ධම්මික සී. බණ්ඩාර මහතාගේ මඟ පෙන්වීම යටතේ කොවිඩ් නිවාරණ නිලධාරීනි ඒ. ඩී. කේ සිරිවර්ධන මහත්මිය විශාල සේවයක් කළා.

ඒ වගේ ම කේ. එස්. පි. කරුණාරත්න මහතාත්, රග්බි කණ්ඩායම සමඟ නිරන්තරයෙන් රැඳී සිටින සහාය පුහුණුකරු මලින්ද ජයවර්ධන ගුරු මහතාත් මේ වෙනුවෙන් විශාල මෙහෙයක් කළා. ඔවුන් සමඟ එකතු වෙලා අපි හොඳ ගමනක් යන්න හැකි වාතාවරණයක් ඇති කර ගත්තා.“

නමුත් කණ්ඩායමට ඇතුළත් විය හැකි සාමාජිකයන් ප්‍රමාණය නොවීම,  ඉන් අනතුරුව ඔවුන් මුහුණ දුන් ප්‍රශ්නය බවට පත් වුනා. කණ්ඩායමට 15 දෙනෙක්ගෙන් යුත් සංචිතයක් ලැයිස්තු ගත කළ හැකි වූව ද ඔවුන්ට සිටියේ ක්‍රීඩකයන් 13 දෙනෙක් පමණයි.

“අපි ඉන්න ළමුන් ප්‍රමාණයෙන් පුහුණුවීම් ආරම්භ කළා. ක්‍රීඩකයන් 4 දෙනෙක් ඇරෙන්න අනෙක් හැම දෙනාම පළපුරුද්දෙන් අඩු අය. මේ අතර අලුත් ම අයත් හිටියා. මේ තත්ත්වය මේ ප්‍රදේශයේ පාසල් බොහෝමයක පවතිනවා. 11 ශ්‍රේණියෙන් පස්සේ ළමුන් පාසල සමඟ සම්බන්ධ වෙන්නේ ඉතාම අඩුවෙන්. විවිධ දේ සඳහා ඔවුන් පාසල හැර යනවා. ඒ හැර යෑම රග්බි ක්‍රීඩාවටත් බලපානවා. නමුත් අපි ඒ අභියෝගයත් ජය ගන්නවා. අපේ ආධුනික ක්‍රීඩකයෝ විශාල ප්‍රගතියක් දැක්වූවා. ඔවුන් පළපුරුදු ක්‍රීඩකයන් හා සමානව ම සෙල්ලම් කළා“, සෝමරත්න මහතා නැවත පැවසුවා.

  • තල්දූව බෞද්ධ විද්‍යාලයීය රග්බි කණ්ඩායම; දසුන් කාවින්ද මීවල (නායක), විරාජ් කාලිංග (උප නායක), කසුන් චාමර රත්නායක, අලින් ඔස්ටින්, දිළින නවීන්, පසිඳු ඩිල්ශාන් තිලකසිරි, පේසල කරුණාවර්ධන, ලසිඳු මහවිතානගේ, මාලින්ද අබේවික්‍රම, රුක්ෂිත ඉමේෂ්, වනුක ජනිත් කුමාරපේළි, තරිඳු සිසිකැළුම් වීරවංශ, සිතිජ මධුශංක කරුණාරත්න
  • නිලධාරීන්; කේ. එස්. පී. කරුණාරත්න (කණ්ඩායම් භාර නිලධාරි) ශානුක ප්‍රියදර්ශන සෝමරත්න (පුහුණුකරු) ඒ. ඩි. කේ. සිරිවර්ධන මහත්මිය (කොවිඩ් නිවාරණ නිලධාරිනී) මලින්ද ජයවර්ධන මහතා (සහාය පුහුණුකරු)

තරගාවලියේ දී තල්දූව බෞද්ධ ක්‍රීඩකයෝ පළමු වටයේ දී අපරාජිතයන් ලෙසින් තම කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සමත් වුනා. එහි දී රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය ඔවුන් වෙතින් පරාජයට පත් වුනා.

අනතුරුව පැවති කුසලාන අවසන් පූර්ව වටයේ දී ඔවුන්ට සම්මුඛ වෙන්නේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය. තියුණු තරගයකින් අනතුරුව තල්දූව බෞද්ධයෝ ලකුණු 17-15කින් එම තරගය ජයග්‍රහණය කරනවා.

“තරගයේ අවසන් මිනිත්තු කිහිපය වෙන තුරු ම අපි 05-15ක ලකුණු පරතරයකින් පිටුපසින් සිටියේ. නමුත් අවසන් අවස්ථාවේ දී අපිට ඉදිරියට එන්න හැකි වෙනවා. එතැන දී විශාල කාර්යයක් කළේ රුක්ෂිත ඉමේෂ්. ඔහු Try’s දෙකක් ලබා ගනිමින් අපිව ඉදිරියට ගේනවා. එතැන දී තමයි අපි මේ තරගාවලිය ම දිනන්නේ.

ඒ වගේම තරගාවලිය පුරා කණ්ඩායමේ නායක දසුන් කාවින්ද මීවල, විශාල කාර්යයක් කළා. ක්‍රීඩකයන් පාලනය කරමින් කණ්ඩායමට විශාල දායකත්වයක් දැක්වූවා. ඒ වගේ ම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට පුහුණුකරු ලෙසින් මගේ ලොකු ගරුත්වයක් තියෙනවා. ඔවුන් සියලුම දෙනා ම තම තමන්ගේ කාර්යයන් අඩුවක් නැතිව කළා. එහෙම නොවුනා නම් මේ තරගාවලිය අපිට ජයග්‍රහණය කරන්න හැකි වෙන්නේ නැහැ“, පුහුණුකරු සෝමරත්න මහතා තරගාවලියේ තම කණ්ඩායමේ හැරවුම් ලක්ෂය ගැන පැවසුවේ එලෙසින්.

සෝමරත්න මහතා තල්දූව බෞද්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. තල්දූවේ රග්බි ආරම්භක සාමාජිකයෙක්. ඉන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව රග්බි ක්‍රීඩාවේ නිරත වෙනවා.

“පාසල් කාලයෙන් පස්සේ ගුවන් හමුදා කණ්ඩායමට සෙල්ලම් කළා. මේ අතර කාලයේ අවුරුදු 3ක් විතර පාසලේ ස්වේච්ඡාවෙන් රග්බි පුහුණු කළා. ඔය අතර පාසල් ක්‍රීඩා පුහුණුකරුවෙක් ලෙසින් රජයේ පත්වීම් ලැබෙනවා. දෙපාරක් නොහිතා ම ගුවන් හමුදාවෙන් ඉවත් වෙලා, මේ පත්වීම ගන්නවා. මගේ මුල් ම පත්වීමත් මගේ ම පාසලට. ඒක මටත් මගේ පාසලටත් ලැබුණ අනර්ඝ අවස්ථාවක්. මෙතැන දී මගේ ගුවන් හමුදා රග්බි ජීවිතයත් ලොකු පන්නරයක් වුනා”, සෝමරත්න මහතා නැවත පැවසුවා.

තල්දූව බෞද්ධ පාසල ලැබූ මේ ජයග්‍රහණය පිටුපස දුෂ්කරතා විශාල ප්‍රමාණයක් පැවති බවයි ඔහු පවසන්නේ. ක්‍රීඩකයන්ගේ සපත්තු, ඇඳුම් පැලඳුමේ සිට ම අංකනය කළ හැකි දිගු ලැයිස්තුවකින් එය සමන්විතයි.

“අපි සෙල්ලම් කරපු කාලේ වගේ ම මේ දක්වා ම කණ්ඩායම ගොඩ ගැනීමේ දී විවිධ අඩු පාඩු තිබෙනවා. ගොඩක් ළමයින්ට සපත්තු තිබුණේ නැහැ. ඔවුන් ඒවා මාරු කරගෙන එහෙම නැත්නම් කලින් සෙල්ලම් කළ අයගෙන් ඉල්ල ගෙන තමයි ක්‍රීඩා කළේ. Dialog Axiata ආයතනය මගින් ඇඳුම් සඳහා අනුග්‍රහය දක්වපු එක විශාල ශක්තියක් වුනා. ඒ ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ම පාසල් රග්බි සංගමයටත් විශේෂ ස්තුතියක් කළ යුතුයි. වසංගත තත්ත්වයක් හමුවේ මේ වගේ තරගාවලියත් පැවැත්වීමේ අභියෝගය ඔවුන් අරගෙන, ඒක කිසිදු අඩුපාඩුවක් නොවන්න සංවිධානය කළා.”

“අනෙක් එක තමයි, මෙවර තරගාවලියත් සමඟ සබරගමුව පළාතේ රග්බි ක්‍රීඩාවේ වගේ ම තල්දූව බෞද්ධ විද්‍යාලයේ රග්බි ක්‍රීඩාවේ ද විශාල පිබිදීමක් ඇති වුනා. ඒකට ලොකු හේතුවක් වුනේ, තරගාවලිය ThePapare.com හා එක් ව Dialog TV හරහා විකාශය කිරීම. ඒ මගින් ප්‍රදේශයේ බාහිර පුද්ගලයන් විශාල පිරිසකගේ අවධානයට රග්බි ක්‍රීඩාව ලක් වුනා. මම විශ්වාස කරනවා, ඉදිරියේ දී රග්බි ක්‍රීඩාව වෙනුවෙන් මෙම ප්‍රදේශයෙන් විශාල සහභාගීත්වයක් ඇති වේවි”, සෝමරත්න මහතා පැවසුවා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නේ තල්දූව බෞද්ධ විද්‍යාලයීය කණ්ඩායමේ නායක දසුන් කාවින්ද මීවල. ඔහු තම කණ්ඩායමේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ThePapare.com සමග තම අදහස් දැක්වූවේ මෙලෙසින්.

“අපිට අවශ්‍ය වුනේ අනෙකුත් කණ්ඩායම්වලට හොඳ තරගයක් දෙන්න. හැම කණ්ඩායමක් ම ලෙහෙසියෙන් පරාජය කරන්න ලැබෙන්නෙ නැහැ කියන මට්ටමේ අපි හිටියේ. මේ නිසා නිතර ම පන්දුව අපේ අතේ තියාගන්න ඕන කියන හැඟීම් හැම කෙනෙක් තුළ ම ඇති කළා. ඒ සැලසුම ජයග්‍රහණය කළා. සතුටුයි. මේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුන සෑම කෙනෙක්ට ම ස්තුතිවන්ත වෙනවා.”

තල්දූව බෞද්ධයෙන් සේ ම ඊට තදාසන්න ප්‍රදේශවල රග්බි මෙන් ම අනෙකුත් ක්‍රීඩාවන් ද කරනු ලබන ක්‍රීඩකයන්ගේ නිජබිම වෙන්නේ කැළණිවැලි ක්‍රීඩාංගණය. උදේ සිට සවස වන තුරු ම මේ ක්‍රීඩාංගණය කළබලකාරීයි. ඒ තරමට ම එය කාර්ය බහුලයි. ලැබෙන ඉඩ-කඩ සාමකාමීව පරිහරණය කරමින් තල්දූව බෞද්ධයෙන්ගේ රගර් ගැහිල්ල ද කෙරෙනවා. නමුත් අඩු-පාඩු ද බොහෝමයි.

“විදුහල්පතිතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විශාල ලෙස උදව් කරනවා. රග්බි දරුවන්ගේ දෙමාපියන් ද ඔවුන්ට හැකි අයුරින් දායකත්වයක් දක්වනවා. විශේෂයෙන් කියල උදව් කරන්න තරම් කණ්ඩායමක් අපිට නැහැ. උදව් කළත් ඉන්නේ ආදි ශිෂ්‍ය කිහිප දෙනෙක් විතරයි. සමහර අවශ්‍යතාවන් ගමේ දේවල්වලින් සපුරා ගන්නවා.

කොහොම වුනත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන් කියන හැඟීම සෑම කෙනෙක් තුළ ම තියෙනවා. ඒ ගමන අපි යනවා. ඒ ගමනේ දී අපිට එකතු වෙන්න, අපේ අඩු-පාඩුවලට සවියක් වෙන්න කෙනෙක් ඉන්නවා නම් ඒක අපිටත් වඩා මෙරට රග්බි ක්‍රීඩාවට කරන මහඟු ආයෝජනයක්“, තල්දූව බෞද්ධ විද්‍යාලයීය රග්බි කණ්ඩායම් භාර ආචාර්ය මෙන් ම සබරගමුවට රග්බි ක්‍රීඩාව හඳුන්වා දෙමින් සහ තව දුරටත් එය වර්ධනය කර ගැනීමේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන කේ. එස්. පි. කරුණාරත්න මහතා ThePapare.com සමග පැවසුවා.

තල්දූව බෞද්ධ විද්‍යාලයීය රග්බි කණ්ඩායමට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<