හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් පිටියට සමුදෙයි

252
IPLT20.com

නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නයි සුපර් කිංග්ස් නියෝජනය කළ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආරම්භක පිතිකරු Shane Watson ඊයේ (31) පැවති තරගයෙන් අනතුරුව franchise cricket තරග රාමුවට ද තිත තබමින් සම්පූර්ණ වශයෙන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.

ඔහුගේ මෙම සමුගැනීම පිළිබඳව චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරංචි මාර්ග මගින් තහවුරු කර ඇති අතර එය පිළිබඳව දැනුම් දෙමින් එම කණ්ඩායමේ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබුණේ තරගයෙන් අනතුරුව තමන් සියලුම ක්‍රිකට් තරග රටාවන්ගෙන් සමුගන්නා බව Watson විසින් සිය කණ්ඩායම් සඟයන් වෙත ප්‍රකාශ කළ බවයි.

“නිමා වූ තරගය තමන්ගේ ක්‍රිකට් පිටියේ අවසන් තරගය කියලා කණ්ඩායම් විවේකාගාරයේ දී Watson කියද්දී ඔහු ඉතාමත් හැඟීම්බර වුනා, තවද මෙම franchise cricket තරග රාමුවේ ක්‍රීඩා කිරීමට ලැබීම තමන් ලැබූ භාග්‍යයක් බව ද ඔහු ප්‍රකාශ කර සිටියා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පිවිසි Watson තුන් ඉරියව්වෙන්ම සුපිරි දස්කම් දක්වමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අමිල සේවයක් ඉටු කිරීමට සමත් වූ අතර තරග රාමුවන් ත්‍රිත්වයේම එම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරන ලදි.

මීට අමතර 2007 සහ 2015 වසරවල දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්දින ලෝක ශූරයන් වීමට ද අමිල සේවයක් ඉටු කළ Watson එක්දින තරග 190ක්, ටෙස්ට් තරග 59ක් සහ පන්දුවාර 20 තරග 58කට සිය දායකත්වය ලබා දීමෙන් අනතුරුව 2016 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරන ලදි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද ලීග් තරගාවලි අඛණ්ඩවම නියෝජනය කළ Watson 2016 වසරේ සිට 2018 වසර දක්වා ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Royal Challengers Bangalore නියෝජනය කළ අතර පසුව 2018 වසරේ දී ඔහුව එම තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වූ Chennai Super Kings විසින් සිය කණ්ඩායමට එක්කර ගත්තේය.

තවත් ක්‍රිකට් පුවත්: 

Chennai කණ්ඩායමට එක්වීමෙන් අනතුරුව එම කණ්ඩායම වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ Watson 2018 වසරේ දී එම කණ්ඩායම තරගාවලියේ ශූරයන් ලෙස කිරුළ පැලඳවීමට ඉතා විශාල සේවාවක් ඉටු කළ අතර 2019 තරග වාරයේ අවසන් තරගයේ දී පාදයේ ලේ ගැලීමක් ද සහිතව අනර්ඝ ඉනිමක් දියත් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම රැගෙන ඒමට සමත් විය.

පසුව මෙම තරග වරයේ දී Chennai Super Kings නියෝජනය කළ ඔහුට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ අතර කණ්ඩායමක් ලෙස ලද පසුබෑම නිසාවෙන් ඔහුගේ කණ්ඩායමට මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු විය.

2000-2007 කාලසීමාවේ ක්‍රිකට් පිටියේ දැවන්තයන් ලෙස සැලකූ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තවමත් පිටියේ දැකිය හැකි අවසන් ක්‍රීඩකයා වූ Shane Watson මෙම තීරණයත් සමඟින් සිය වසර 20කට ආසන්න ක්‍රීඩා දිවියට සම්පූර්ණ වශයෙන්ම තිත තබනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<