2021 ‘සුලෝහිත සංග්‍රාමය’ Dialog විසින් බලගන්වයි

ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාමය 2021

202
ඡායාරූපයේ වමේ සිට දකුණට: ආනන්ද විද්‍යාල ‘සුලෝහිත සංග්‍රාමය’ ඒකාබද්ධ තරග කමිටුවේ සම සභාපති බිමල් විජයසිංහ, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නිලධාරී - ව්‍යාපෘති කළමනාකරණ සහ සන්නිවේදන යටිතල පහසුකම් - උපාලි ගජනායක, නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා සහ නාලන්දා විද්‍යාල ‘සුලෝහිත සංග්‍රාමය’ ඒකාබද්ධ තරග කමිටුවේ සම සභාපති වරුණ රත්නවීර.

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර, දිවංගත ආචාර්ය පී. ද එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් පවත්වනු ලබන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික ක්‍රිකට් තරගය එළඹෙන අප්‍රේල් 3 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් බලගන්වනු ලබන මෙම තරගය ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 140 සහ ThePapare.com ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩක සවිරු බණ්ඩාර විසින් මෙහෙයවද්දී, නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම රවීන් ද සිල්වාගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙයි.

සමනය වෙමින් පවතින කෝවිඩ්-19 සෞඛ්‍ය තත්ත්වය මෙන්ම ක්‍රිකට් ඇතුළු ඇතැම් ක්‍රීඩා නැවත ආරම්භ කිරීමට මෑත කාලීනව රජය අවසර ලබා දුන් චක්‍රලේඛය සැලකිල්ලට ගෙන පාසල් ද්විත්වයේ විදුහල්පතිවරුන් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුව සමඟ සාකච්ඡා කර ‘සුලෝහිත සංග්‍රාමය’ පැවැත්වීමේ සැලසුම් ඉදිරියට ගෙන යෑමට තීරණය කර ඇත.

සංවිධායකයින් විසින් පිළිපැදිය යුතු නිශ්චිත මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම තරගය පැවැත්වීමට අදාළ රජයේ බලධාරීන් අවසර ලබා දී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව තරගය පැවැත්වීමට නියමිතය.

තවද පාසල් ළමුන්ගේ ආරක්ෂාව සියල්ලට වඩා වැදගත් බැවින් කණ්ඩායම් ද්විත්වය හා තරග නිලධාරීන් සියලුම කොවිඩ්-19 නිර්දේශ සහ සෞඛ්‍යාරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇත.

මේ වන විට ආනන්ද විද්‍යාලය මෙම තරගාවලි ඉතිහාසයේ ජයග්‍රහණ 12ක් සමඟින් පෙරමුණේ පසුවන අතර නාලන්දා විද්‍යාලය තරග 6ක ජයග්‍රහණය තමන් සතු කරගෙන තිබේ.

කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් ද්විත්වයක් වන අතරම මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් තලයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ වැඩිම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාව ද (ක්‍රීඩකයින් 55කට වැඩි) බිහි කර තිබේ.

එම ක්‍රීඩකයින් අතුරින් 6 දෙනකු, එනම් දිවංගත බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන හා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ ගෞරවයට හිමිකම් කියයි.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක දිවංගත බන්දුල වර්ණපුර නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන අතර 1996 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ අර්ජුන රණතුංග කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවූවෙකි.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් ක්‍රිකට් හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<