RCB මංගල ජය තහවුරු කළ වනිඳු වීරයා වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022

6077
iplt20.com

වනිදු හසරංගගේ සුවිශේෂී පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට Royal Challengers Bangalore ඊයේ (30) සමත් වුනා. ඔවුන් හමුවේ පරාජය වුනේ Kolkata Knight Riders කණ්ඩායමයි.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී කාසියේ වාසිය දිනූ Bangalore නායක Faf du Plessis පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Kolkata Knight Ridersට වනිදු හසරංග ප්‍රමුඛ Bangalore පන්දු යවන්නන්ගෙන් එල්ල වූ ප්‍රබල අභියෝගය හමුවේ පන්දුවාර 18.5ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Andre Russell 4 පහරක් සහ 6 පහර 3ක් සමඟ පන්දු 18කින් ලකුණු 25ක් ලබා ගත්තා. Umesh Yadav ලකුණු 18යි. Sam Billings  ලකුණු 14කටත්, නායක Shreyas Iyer ලකුණු 13කටත් දැවී ගියා.

Bangalore වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ වනිඳු ලකුණු 20කට කඩුලු 4ක් (Shreyas Iyer, Sunil Narine, Sheldon Jackson සහ Tim Southee) දවා ගැනීමට සමත් වුනු අතර ඔහු දැනට මෙවර IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වෙනවා. එසේම වනිඳු IPL පිටියේ ප්‍රදර්ශනය කළ සිය හොඳම පන්දු යැවීමේ දක්ෂතාවය ද මෙයයි. වේගපන්දු යවන ක්‍රීඩක Akash Deep ලකුණු 45කට කඩුලු 3ක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Bangalore මුල්පෙළ පිතිකරුවන් වුනු Anuj Rawat ලකුණු නොලබාත්, නායක Plessis ලකුණු 5කටත්, Virat Kohli ලකුණු 12කටත් දැවී යාමත් සමඟ ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 17ක් තුළ බිඳ වැටුණා. කෙසේ නමුත් ඔවුන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 7ක් දැවී මෙවර IPL තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගත්තා.

David Willey ලකුණු 18ක් (28), Sherfane Rutherford ලකුණු 28ක් හා Shahbaz Ahmed ලකුණු 27ක් (20) ලබා ගනිමින් බිඳ වැටුණු ඉනිම යළි ගොඩනැංවීමට අවශ්‍ය දායකත්වය ලබා දුන්නා. වනිඳු ලකුණු 4කට දැවී ගියා. Harshal Patel නොදැවී ලකුණු 10යි. Dinesh Karthik පන්දු 7කින් නොදැවී ලකුණු 14*ක් ලබා Bangalore ජය තහවුරු කළා.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩකයින් වන Tim Southee ලකුණු 20කට කඩුලු 3ක් හා Umesh Yadav ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්තා. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ වනිදු හසරංගයි.

Kolkata Knight Riders – 128 (18.5): Andre Russell 25, Umesh Yadav 18, Wanindu Hasaranga 4/20, Akash Deep 3/45.

Royal Challengers Bangalore – 132/7 (19.2): Sherfane Rutherford 28, Shahbaz Ahmed 27, Tim Southee 3/20, Umesh Yadav 2/16.

තරගයේ වීරයා – වනිඳු හසරංග

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<