සාන්ත ජෝසප්, තර්ස්ටන් සහ මහානාම අවසන් පූර්ව වටයට

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2021/22

552

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A සහ Tier B අර්ධ අවසන් පූර්ව වටයේ තරග 3ක් අද (30) ක්‍රියාත්මක වුනා.

එහි දී සාන්ත ජෝසප්, මහානාම සහ තර්ස්ටන් යන කණ්ඩායම් ජයග්‍රහණ ලබාගෙන එහි අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

සාන්ත ජෝසප් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර තර්ස්ටන් පිටියේ පැවැත්වුණු තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට අපරාජිතව පැමිණි සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා.

එහි දී සාන්ත ජෝසප් නායක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක ශෙවෝන් ඩැනියල් දැක්වූ තුන් ඉරියව් දක්ෂතා කැපී පෙනුණා. ඔහු පන්දු 75ක දී 4 පහර 6ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් නොදැවී ලකුණු 85*ක් ලබා ගත්තේ පන්දු යැවීමෙන් දවා ගත් කඩුලු 4ට අමතරවයි.

මහානාම විද්‍යාලයේ කූජන පෙරේරාගේ තුන් ඉරියව් දස්කම්වලින් වර්ණවත් වුනු මහානාම – සාන්ත බෙනඩික්ට් තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට මහානාම ක්‍රීඩකයින් සමත් වුනා. මහානාම විද්‍යාලයේ ආරාධනයන් පළමුව පන්දුවට පහර දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 94ක් පමණයි.

ලකුණු 25කට කඩුලු 8ක් දැවී ගොස් තිබුණු සාන්ත බෙනඩික්ට් ඉනිමේ අවසන් කඩුලු දෙක වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 16ක සහ ලකුණු 53ක සබඳතාවයක් ගොඩනැංවීමට යොහාන් සොයිසා සහ අනීෂ මදුමල්ක ඇතුළු බෙනඩික්ට් පසුපෙළ පිතිකරුවන් සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කළ මහානාම විද්‍යාලය වෙනුවෙන් නැවත වරක් ක්‍රියාත්මක වූ කූජන ලකුණු 47ක් ලබාගෙන පිතිකරණයෙන් ද දස්කම් දක්වමින් අපරාජිතව පැමිණි මහානාම විද්‍යාලයේ ජය තහවුරු කළා.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයේ අවසන් ප්‍රතිඵලය ලැබුණු තර්ස්ටන් – ලුම්බිණි තරගයෙන් ලකුණු 10ක ජයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් වුනා. ලුම්බිණි විද්‍යාලයේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් තර්ස්ටන් ක්‍රීඩකයින් සියල්ලන්ම දැවී ලකුණු 228ක් ලබා ගත්තා. තේනුක දේවප්‍රිය සහ උපුල් හෙට්ටිආරච්චි අර්ධ ශතක ලබාගෙන දස්කම් අතරට පිවිසියා. ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දුකරණයක නිරත වුනු සහන් කෞශල්‍ය ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත්තා.

අයහපත් ආලෝක තත්වය නිසා තරගය නවතාලන විට ලුම්බිණි ක්‍රීඩකයින් පන්දුවාර 40ක් අවසානයේ ලකුණු 158ක් ලබාගෙන සිටිය නමුත් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව සිදු කළ ගණනයන්ට අනුව ඔවුන් ඒ වන විට තර්ස්ටන් විද්‍යාලයට සාපේක්ෂව ලකුණු 10ක් පසුපසින් සිටීම නිසා තරගයේ ජය හිමි වූයේ තර්ස්ටන් විද්‍යාලයටයි.

TIER A

සාන්ත ජෝසප් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

  • කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – තර්ස්ටන් විද්‍යාලය

වෙස්ලි විද්‍යාලය – 167 (47): චමත් ගෝමස් 30, සාහිල් ඩයස් 29, ශෙවෝන් ඩැනියල් 4/25, දුනිත් වෙල්ලාලගේ 4/37.

සාන්ත ජෝසප් විද්‍යාලය – 172/4 (36.1): ශෙවෝන් ඩැනියල් 85*, සදීෂ් ජයවර්ධන 33, හිරුන් කපුරුබණ්ඩාර 28.

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 6ක ජයක්


මහානාම විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • කාසියේ වාසිය – මහානාම විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 94 (38.5): යොහාන් සොයිසා 31, කූජන පෙරේරා 5/18, ඔමේෂ් උදාර 3/19.

මහානාම විද්‍යාලය – 98/3 (23.4): කූජන පෙරේරා 47, විරංග යෙශාන් 22.

මහානාම විද්‍යාලයට කඩුලු 7ක ජයක්


TIER B

ලුම්බිණි විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

  • කාසියේ වාසිය – ලුම්බිණි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණය

තර්ස්ටන් විද්‍යාලය – 228 (48.4): තේනුක දේවප්‍රිය 59, උපුල් හෙට්ටිආරච්චි 50, පසිඳු රත්නායක 37, සහන් කෞශල්‍ය 4/25, මලිත් කවිඳු 3/33.

ලුම්බිණි විද්‍යාලය – 158/5 (40): සහන් කෞශල්‍ය 38*, නබීල් රාජුඩීන් 34, තේනුක දේවප්‍රිය 1/18.

තර්ස්ටන් විද්‍යාලයට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 10ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<