ආන්දෝලනාත්මක විනිසුරු මැද Crusaders ජය තහවුරුයි!

142

Investec Super Rugby Aotearoa 2020 තරගාවලියේ තවත් එක් සති අන්තයක ආරම්භය සනිටුහන් කරමින් ක්‍රියාත්මක වූ තරගයෙන් විශිෂ්ට ජයක් අත්පත් කරගැනීමට Crusaders සමත් විය. ඔවුන් අතින් පරාජයට පත් වූයේ සත්කාරක Chiefs කණ්ඩායමයි. වෙලින්ටන් ක්‍රීඩා පිටිය කේන්ද්‍රකර ගනිමින් පැවති තරගයේ අවසන් ලකුණු සටහන දිස්වූයේ 32-19ක් ලෙසිනි.

>>Crusaders ආධිපත්‍යය බිඳ වැටෙයි; Hurricanes ඉතිහාසය අළුත් කරයි!<<

ඉකුත් සතියේ දී Hurricanes හමුවේ ලද අනපේක්ෂිත පරාජයෙන් තරමක් මානසිකව පසුබැස සිටි Crusaders අද (01) තරග බිමට පිවිසුණේ කෙසේ හෝ මෙම තරගය ජය ගනිමින් සුපුරුදු රිද්මයට අනුගත වීමේ අරමුණෙනි. 

ඊට සරිලන අඩිතාලම සකසා දුන් Crusaders ක්‍රීඩක Tom Sanders සහ Will Jordan තරගයේ පළමු කාර්තුවේ දී ම උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් තම කණ්ඩායමට දිනයේ වැඩි වාසි අත්පත් කරදීමට සමත් විය. ඔවුන්ගේ එම උත්සාහයන් තවත් අමතර ලකුණු දෙකකින් වර්ණවත් කිරීමට ලැබුණු අවස්ථා ද්විතයෙන් Richie Mo’unga හට සාර්ථක කරගැනීමට හැකි වූයේ එක් ප්‍රවර්තන අවස්ථාවක් පමණි. (Chiefs 00 – 12 Crusaders)

විරාම ඝටිකාවේ 22 වැනි මිනිත්තුව උදාවත්ම සත්කාරක Chiefs ක්‍රීඩකයින් ඔවුන්ගේ හැකියා දක්ෂතා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළේ Lachlan Boshier විසින් වාර්තා කළ අනගි ප්‍රවර්තිත උත්සාහක දිනුමෙන් ලැබුණු පන්නරයත් සමඟිනි. ඊට මිනිත්තු 2කට පසුව ප්‍රතිවාදි ක්‍රීඩකයෙකු Offside වරදට හසුකොට ගැනීම නිසා උදා වූ දඬුවම් පහර ද සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරගැනීමට Damian Mckenzie සමත් විය. (Chiefs 10 – 12 Crusaders)

>>ශූරතාවයේ බලාපොරොත්තු සමඟින් Blues ජයග්‍රාහී මාවතට<<

කරට කර සටනක් ලබා දෙමින් පළමු අර්ධය ඉහළ සටහනකින් නිමා කිරීමට වෑයම් කළ දෙපිලේම ක්‍රීඩකයින් අතරින් ශක්තිමත් Crusaders ඉදිරිපෙළ ප්‍රහාරකයින් වඩාත් කැපී පෙනුණේ අවසන් මිනිත්තුවේ දී Rolling maul අවස්ථාවක් නිර්මාණය කරමින් වාර්තා කළ අපූර්ව උත්සාහක දිනුම නිසාවෙනි. Crusaders නායක Codie Taylor ධවල රේඛාව අභිබවා ගමන් කිරීමේ ගෞරවය තමන් සතු කරගනිද්දී ප්‍රවර්තනය ඉලක්කය අතරින් යොමු කිරීමට Mo’unga අපොහසත් විය. (Chiefs 10 – 17 Crusaders)

පළමු අර්ධය:  Crusaders 17 (3T,1C) – 10 (1T,1C,1P) Chiefs

දෙවන අර්ධය ආරම්භයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතින් අත්වැරදීම් කිහිපයක් සිදු වූ හෙයින් ඒවාගෙන් උපරිම ඵල නෙලාගැනීම දෙපිලේම පන්දු ප්‍රහාරකයින් සමත් වූයේ උදා වූ දඬුවම් පහර සියල්ල නිවැරදිව ඉලක්කය අතරින් යොමු කරමිනි. 

Chiefs ක්‍රීඩක Damian Mckenzie ලැබුණු දඬුවම් පහර ත්‍රිත්වයම ගෝල කණු අතරින් පා කර හැරි අතර Richie Mo’unga ද තමන්ට පැවරුණු රාජකාරිය හරියාකාරව ඉටු කළේ උදා වූ දඬුවම් පහර අවස්ථාව නිවැරදිව එල්ලය වෙත යොමු කරමිනි. (Chiefs 19 –  20 Crusaders)

>>2020 පාසල් රග්බි ආරම්භයට පුංචි බලාපොරොත්තුවක්!<<

ඉන් අනතුරුව Chiefs කණ්ඩායමෙන් තරගය උඳුරා ගත් Crusaders ක්‍රීඩකයින් අවස්ථා දෙකක දී ධවල රේඛාව අභිබවා යමින් සත්කාරකයින් හට රිසි සේ සංග්‍රහ කළේ ජයග්‍රහණය ගැන තිබූ බලාපොරොත්තු සියල්ල බොඳ කරදමමිනි. Sevu Reece සහ Leicester Fainga’anuku උත්සාහක දිනුම්ලාභීන් ලෙස පැසසුම් ලබද්දී Richie Mo’unga හට සාර්ථක කරගැනීමට හැකි වූයේ එක් ප්‍රවර්තන අවස්ථාවක් පමණි. (Chiefs 19 – 32 Crusaders) 

විනිසුරු තීරණ කිහිපයක්ම Chiefs කණ්ඩායමට අවාසි සහගත වන අයුරින් බලපෑ අතර එම නිසාවෙන් බොහෝ පාර්ශවයන් අද දිනයේ ලබා දුන් තීරණ සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදහස් පළකොට තිබුණි.

අවසන් ලකුණු තත්වය:  Crusaders 32 (5T,2C,1P) – 19 (1T,1C,4P) Chiefs 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • Crusaders – Will Jordan (1T), Richie Mo’unga (2C,1P), Tom Sanders (1T), Sevu Reece (1T), Codie Taylor (1T), Leicester Fainga’anuku (1T)
  • Chiefs – Lachlan Boshier (1T), Damian Mckenzie (1C,4P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<