අන්තිම මැච් එක ගමේදි ගහන්න ආසයි

126

පසුගිය ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර සිටියද මින් පෙර හිටපු ක්‍රිකට් තේරීම් කමිටුවත් සමඟ කරන ලද සාකච්ඡාවකින් පසුව ඔවුන්ගේ ඉල්ලීමට අනුව තවත් ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කිරීමෙන් පසුව එනම් එළැඹෙන ඉන්දීය සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පැවැසීය.

කුමාර් සංගක්කාර එසේ ප්‍රකාශ කළේ ඔහු ක්‍රිකට් දිවියෙන් සමුගැනීම පිළිබඳව ගෙන ඇති අවසන් තීරණය දැනුම්දීම සඳහා පෙරේදා (27දා) පී. සරවනමුත්තු ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. ශ්‍රී ලංකා – පාකිස්තාන් දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ තම අදහස් දැක්වූ සංගක්කාර තවදුරටත් කියා සිටියේ තමන් ගෙන ඇති තීරණය කිසිදු වෙනසක් නොකරන බවත්, වසර 15ක් පමණ රට වෙනුවෙන් ක්‍රීඩාකොට සමුගන්නේ තෘප්තිමත් මනසකින් බවත්ය.

සමුගැනීමේදී කුමන ක්‍රීඩාංගණයේදී අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට කැමැති දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ සංගක්කාර,
“මම කැමැති ක්‍රීඩාංගණයක අවසන් තරගය ක්‍රීඩා කරන්න ඇත්නම් හොඳයි. ඒත් ලැබෙන ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරනවා. මගේ ගම මහනුවර නිසා එහි ක්‍රීඩාංගණයක අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන්න ලැබේද කියලා මට කියන්න බැහැ. මුරලිගෙත් ගම නුවර වුණත් ඔහු අවසන් තරගය ක්‍රීඩා කළේ ගාල්ලේදීයි. මම කැමැතියි අස්ගිරිය ක්‍රීඩාංගණයට. ඒත් එහි ඇති වත්මන් පහසුකම් මත ඒක සිදුකරන්න බලධාරීන්ට හැකියාවක් නැහැ. මට හැම දෙයක්ම ඉල්ලන්න බැහැ. රටවල් දෙකේ එකඟත්වය අනුව ඒව කලින් සැලැසුම් කළ හැටියට සිදුකළ යුතුයි” යනුවෙන් පැවැසීය.

ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බවත්, අවසානයේදී සතුටින් සමුගෙන යෑමට හැකි ලෙස ක්‍රීඩා කොට ඇති බවත් පැවැසූ සංගක්කාර මෙය තමන්ට සමුගැනීමට සුදුසුම කාලය බවද පැවැසීය. තම ක්‍රිකට් දිවියේ විශේෂයෙන්ම විදෙස් සංචාරයන්හිදී ක්‍රීඩා කළ හොඳම ඉනිම්වල විස්තර ඇතුළුව අතීත අත්දැකීම් විස්තර කරමින් කතා කළ සංගක්කාර තවදුරටත් කීවේ තමන් ක්‍රිකට් පුහුණුකරුවකුගේ තනතුරට සුදුසු යැයි තමන් නොසිතන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් තමන්ගේ සහයෝගය අවශ්‍ය ඕනෑම මොහොතක ලබාදීම සඳහා සූදානමින් සිටින බවයි.

තවත් වසරක් ක්‍රීඩා කළහොත් තවත් ටෙස්ට් ලකුණු 1000ක් එකතු කොට ලොව හොඳම 2 වැනි ටෙස්ට් පිතිකරුවා ස්ථානයට එන්නට හැකියාව ලැබේවි යැයි අදහස් මතුවුවද එසේ තම කාලය දීර්ඝ කිරීම අර්ථවත් නොවන බව පැවැසූ සංගක්කාර “මීට අවුරුදු 2කට විතර උඩදී මම නුවර ගෙදර ඉන්න වෙලාවක තාත්තා මගෙන් ඇහැව්වා ක්‍රිකට්වලින් සමුගන්න හිතල නැද්ද කියල? ඇයි තාත්ත එහෙම අහන්නෙ කියලා මම ඒ වෙලාවෙ පුදුමයට පත්වුණා. තාත්තා මේ කියන්න උත්සාහ කරන්නෙ මොනවද කියල මම කල්පනා කළා. ඒ කතාවෙන් පසුව මම ඒ ගැන හිතන්න පටන් ගත්තා” යනුවෙන් පැරැණි කතාවක්ද හෙළි කළේය.
කෙසේ වෙතත් ඇන්ජිලෝ මැතිව්ස් ඇතුළු තම කණ්ඩායමේ අනාගතය ගැන දැඩි විශ්වාසයකින් යුතුව අදහස් දැක්වූ සංගක්කාර කියා සිටියේ මහේල ජයවර්ධනට පෙර තමන් ක්‍රීඩාවෙන් සමුගැනීමට සිටියද මහේල සමුගන්නා බවට කලින් දැනුම්දීම නිසා දෙදෙනාම එකවර කණ්ඩායමෙන් යෑම නුසුදුසු යැයි තමා එවකට කල්පනා කළ බවය. තවද මින් පෙර ගාල්ලේදී ‘මව්බිම’ට හෙළිකළ පරිදිම සංගක්කාර පැවැසුවේ තමන් දේශපාලනයට ඒමට කිසිදු අදහසක් නොමැති බවයි.