එංගලන්ත‌ ‌තරගාවලි‍යත්‌ ‌ඉන්දියාවෙන්‌ ‌පිටතට‌ ‌යන‌ ‌ලකුණු

204
India vs England

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනය සමඟින් විශේෂ ගිවිසුමකට එක්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ. එම ගිවිසුමත් සමඟින් මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇති ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහලින්ම සිටින කණ්ඩායම් ද්විත්වය වන ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම තරගාවලිය පිළිබඳව බොහෝ ක්‍රීඩාලෝලීන් සිය බලාපොරොත්තු තබාගෙන සිටියේය.  කෙසේ වෙතත් කොරෝනා වයිරසයේ පැතිරීමත් සමඟින් මෙම තරගාවලිය ද අවලංගු වන මට්ටමක් උද්ගතව තිබුණි.

ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ක්‍රිකට් මිතුදම ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම ගිවිසුම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ප්‍රධාන කරගත් ගිවිසුමක් ලෙස මීට පෙර සඳහන් විය. කෙසේ වෙතත් මෙම ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවල දී එළඹෙන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙන්ම ඒ වන තුරු ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති  සියලු ජාත්‍යන්තර තරගාවලි සඳහා සත්කාරකත්වය සැපයීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇති හැකියාව පිළිබඳව ද සාකච්ඡා කර තිබුණි. 

පසුගිය සෙනසුරාදා (19) ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ශා සිය නිල twitter ගිණුමෙහි සඳහනක් කරමින් පවසා සිටියේ ඉන්දීය ක්‍රිකට් ආයතනය එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය සමඟින් “සත්කාරකත්වය සැපයීමේ” ගිවිසුමක් සඳහා අත්සන් කළ බවයි.  මෙම ගිවිසුම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ජේ ශා ද එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි උපසභාපති කලීඩ් අල් සරූනි අත්සන් කර තිබේ. 

මෙම ගිවිසුම සම්බන්ධ සාකච්ඡා සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සව්රව් ගංගුලි හා භාණ්ඩාගාරික අරුන් ධුමාල් ද සහභාගී වී තිබුණි. මෙම ගිවිසුමේ සඳහන් කරුණු පිළිබඳව ජේ ශා කිසිදු සඳහනක් කර නොතිබුණි. කෙසේ වෙතත්  ESPNcricinfo වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු පවසා ඇත්තේ එම ගිවිසුම ප්‍රධාන වශයෙන් මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් එළඹි ගිවිසුමක් බවයි. 

කොරෝනා වයිරසයට පෙර පැවති සැලසුම්වලට අනුව ඔක්තෝබර් මාසයේ දී එංගලන්තය හා ඉන්දියාව අතර එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියා තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිතව තිබුණි. එම තරගාවලියෙන් පසුව ජනවාරි මාසයේ දී නැවත ඉන්දියාවේ දී ටෙස්ට් තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණි. 

ඉන්දීය එංගලන්ත එක්දින තරගාවලිය පසුගිය මාසයේ දී නිල වශයෙන් කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළේය. පවතින තත්ත්වය හමුවේ ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට හැකියාවක් පවතී නම් එක්දින තරගාවලිය ද ඒ සමඟම පැවැත්වීමට වැඩි ඉඩකඩක් පවතී. 

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය අතර එළඹි මෙම ගිවිසුම ඔවුන්ගේ සම්බන්ධතාවයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. 2000 වසරේ දී සිදු වූ තරඟ පාවාදීමේ පළමු සිදුවීමෙන් පසු  ඉන්දියාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ක්‍රීඩා කළේ 2006 වසරේ පැවති පාකිස්තාන තරගාවලිය පමණි. 

නමුත් මෑත වසරවල දී එම ප්‍රවේශය වෙනස් විය. ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් 2014 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කළේය. ඉන් අනතුරුව 2018 ආසියානු කුසලාන තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්විය. ඉන්දීය 19න් පහළ කණ්ඩායම 2014 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක කුසලාන තරගාවලියට ද සහභාගී විය. 

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ අතර ඉන් අනතුරුව වසර 10ක පමණ කාලයක් පාකිස්තානය සිය සත්කාරකත්වය සඳහා තෝරාගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. කොරෝනා වයිරසයත් සමඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට් තරග සඳහා සුදුසු රටක් ලෙස කැපී පෙනෙන ස්ථානයක් අත්කරගෙන තිබේ.

එරට තුල කොරෝනා වයිරසය පාලනය කළ තත්ත්වයක් පැවති අතර පසුගිය සතියේ දී තරමක වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. පසුගිය දා එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එක් දිනක දී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙස රෝගීන් දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව ප්‍රකාශ කර තිබුණි.

ඉන්දියාව තුල පවතින තත්ත්වය මීට වඩා අතිශයින්ම දරුණු තත්ත්වයක් වන අතර දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 100000කට ආසන්න වෙමින් පවතී. එරටින් මුළු ආසාදිතයින් මිලියන 5.3කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර මේ වන විට 81000 කට අධික පිරිසක් මියගොස් තිබේ. ඉන්දියාව තුල වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවත් සමඟින් එරට ලොව දෙවැනි වැඩිම බලපෑමක් එල්ල වූ රට ලෙස සඳහන් වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<