එංගලන්තය පරාජය කළ ඉන්දියාවට උසස් වීමක්

321

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ (12) ලැබූ පහසු ජයග්‍රහණයත් සමඟ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 108ක් සමඟින් තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හැකි වී තිබෙනවා.

තරගාවලියේ ආරම්භයට පෙර ඉන්දියාව සිව්වැනි ස්ථානයේ පසු වූ අතර ඔවුන්ට තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටීමට නම් මෙම එංගලන්ත තරගාවලිය ජය ගැනීම හෝ ජය පරාජයෙන් තොරව අවසන් කිරීම වැදගත් වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවසීලන්තය ලකුණු 127ක් ලබා ගනිමින් පළමු තැන සිටින අතර ලකුණු 122ක් ලබා ගත් එංගලන්තය දෙවැනි තැන පසුවනවා. පාකිස්තානය සිව්වැනි තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 106ක් සමඟයි.

එංගලන්ත තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව ඇති අතර එයට පසුව ඉන්දියාවට බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තවත් එක්දින තරග තුනකින් යුත් තරගාවලියක් සඳහා සහභාගී වීමට නියමිතව ඇති නිසාවෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායමට විශාල අවස්ථාවක් තිබෙනවා.

නමුත් ඔවුන්ට එය සිදු කිරීමට එම තරග සියල්ලම පාහේ ජය ගැනීමට සිදු වන අතර යම් හෙයකින් ඔවුන් එංගලන්තය සමඟ පැවැත්වීම නියමිත අනෙක් තරග පරාජය වුවහොත් නැවතත් සිව්වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවනවා.

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණයට ආසන්නව සිටින අවස්ථාවක අත්දැකීම් බහුල පිතිකරු Virat Kohli ආබාධයක් නිසාවෙන් ඔහුට දෙවැනි තරගය ද අහිමි වේ දැයි ඉන්දීය බලධාරීන් අවධානයෙන් පසුවනවා.

කෙසේ නමුත් එංගලන්ත සංචාරය තුළ ලකුණු අතරට පැමිණීමට Kohliට නොහැකි වූ අතර ටෙස්ට් තරගයේ පිළිවෙළින් ලකුණු 11ක් සහ 20ක් රැස් කළ ඔහුට විස්සයි විස්ස තරගාවලියේ තරග දෙකක දී ලබා ගැනීමට හැකි වුනේ ලකුණක් සහ ලකුණු 11ක් පමණයි.

Virat Kohli, Rohit Sharma, Jasprit Bumrah සහ Hardik Pandya මෙම මාසයේ පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ දී විවේක ගන්වා තිබීම ද විශේෂත්වයක්.

Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<