බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින වැටෙයි?

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

257

අවස්ථා කිහිපයක දී දින නියමයක් නොමැතිව කල් දැමුණු සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් හෝ තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට වැඩි ඉඩක් තිබෙන බව වාර්තා වෙනවා.

තරගාවලිය කල් දැමීමට සිදු වූ ප්‍රධාන හේතුවක් බවට පත්වූයේ ක්‍රීඩකයන් දින 14ක් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය විය යුතු වීමයි. නමුත් මෙවර එය සතියක් දක්වා අඩුකර ඇති අතර LPL තරගාවලිය සහ එංගලන්ත තරගාවලියේ දී මෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන් සතියක පමණ කාලයක් නිරෝධායනය වීමට නියමිත බව ද දැන ගන්නට ලැබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

“මේ තරගාවලිය අවස්ථා දෙකක දී කල් ගියා. මේ වෙනකොට ශ්‍රී ලංකාව අප්‍රේල් මාසය තුල කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් යොදාගෙන නැහැ. දිගින් දිගටම මෙහෙම තරග කල් දාන්න බැහැ. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේ දී වෙන තරගාවලි යොදාගෙන නැහැ. ඒක නිසා මේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙක හරි තුන හරි අප්‍රේල් මාසයේ දී යොදාගන්න දෙරටේ ක්‍රිකට් බලධාරීන් මේ වෙනකොට අවධානය යොමු කරලා තියෙනවා” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Nizamuddin Chowdhury මහතා පවසා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Mickey Arthur සහ ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා. 

කෙසේ නමුත් ශ්‍රී ලංකා සංචිතය තුල ඔවුන් සමඟ පුහුණු වෙමින් සිටි අනෙක් ක්‍රීඩකයින් සහ පුහුණුකාර්ය මණ්ඩලයේ නිලධාරීන් 36 දෙනෙකුගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල සාමාන්‍ය වීම නිසාවෙන් හෙට (12) එම ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

පසුව මේ මස 16 වැනිදා සිට සංචිතයේ පුහුණුවීම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දැනට සැලසුම් කර තිබෙන්නේ එළඹෙන කොදෙව් සංචාරය ඉලක්ක කරගෙනයි. පෙර සැලසුම් කර ගත් තරග කාලසටහනට අනුව මේ තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්ව තිබෙනවා. කෙසේ නමුත් කොදෙව් – ශ්‍රී ලංකා තරග කාලසටහන වෙනස් වීමට වැඩි ඉඩක් තිබෙන්නේ තරගාවලිය පෙර සැලසුම් කරගත් දිනයට ආරම්භ කිරීමට නොහැකි වුනු නිසයි.

මේ තරග දෙක හෝ තුන පැවැත්වෙන්නේ නම් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ඒ සඳහා තෝරාගැනීමට නියමිතව බව ද  දැනගන්නට ලැබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<