කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 20 වැනි වරටත් පැවැති රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (10) විසඳුමකින් තොරව අවසන් වූවා.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 344ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහානාම විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 387ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා.
ඉන් අනතුරු ව ලකුණු 43ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුල්ලක් දැවී ලකුණු 54ක් ලබා සිටියා.
>>චාමික, සිනෙත් සහ දුල්නිත් දක්ෂතා දක්වයි<<
අද තෙවැනි සහ අවසන් දිනයට තරගය ආරම්භ වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි මහානාම විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 161ක් ලබා සිටියා. ඒ වෙද්දී සිනෙත් වීරරත්න නොදැවී ලකුණු 83ක් ද සහ නායක දුල්නිත් සිගේරා නොදැවී ලකුණු 72ක් ලබා සිටියා.
ඔවුන් අතුරින් අද දවසේ ප්‍රතිවාදීන්ගේ පළමු ගොදුර බවට පත් වෙන්නේ සිනෙත් වීරරත්න. ඔහු දැවී යන විට පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 91ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 192ක් බවට පත් ව තිබුණා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නැවත වතාවක් මහානාම ඉනිමට චාමික හීනටිගල හා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් ද සහ සිතුම් විහඟ හා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ද එක් කිරීමට දුල්නිත් සිගේරා සමත් වෙනවා.
එහි දී චාමික හීනටිගල පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද සහ සිතුම් විහඟ පන්දු 18කට මුහුණ දෙමින් ලකුණු 11ක් ද ලබා ගන්නවා.
දුල්නිත් සිගේරා ඉනිමේ 5 වැනි කඩුල්ලට දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් ඉනිම හැර යද්දී පන්දු 209කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 189ක් ලබා සිටියා.
ඔවුන්ට අමතර ව සනුල් වීරරත්න ද පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ඔෂධ පෙරේරා ලකුණු 63කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රන්දීශ බණ්ඩාරනායක සහ හමිඩ් අෆ්ඩාල් කඩුලු ද්විත්වය බැගින් ද සහ චිතුම් බද්දගේ කඩුල්ලක් ද දවා ගත්තා.
- රන් ගැටුමට මියුරු ශතකයක්
- එංගලන්ත ප්‍රවීණයින්ගේ ගැටුමට මැදි වූ තරුණ Bethell ගැටුමෙන් මිදීමට පිළිතුරු බඳියි
- 2026 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කර ගැනීම එළඹෙන මැයි 08 සිට
- ඩී. එස්. – මහානාම රන් ගැටුමටත් කඳවුරු සූදානම්
- එරාන් වික්‍රමරත්න ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව නම් කරයි!
ලකුණු 43ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ඉනිමේ ආරම්භක ශතකලාභී පිතිකරු මියුරු බණ්ඩාර ට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 13ක් පමණයි.
තරගය විසඳුමකින් තොරව අවසන් වෙද්දී ශෙවාන් වෙල්ගම පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ සිතුම් ගුණරත්න පන්දු 23කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.
එම ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය චාමික හීනටිගල සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 344 (119.0) මියුරු බණ්ඩාර 100, සිත්රු ගුණරත්න 26, ජනිඳු රණසිංහ 24, ශෙවාන් වෙල්ගම 27, ශනාල් බිනුක්ෂ 23, රන්දීශ බණ්ඩාර 48, චනුල් අතලේ 47, චාමික හීනටිගල 6/100
- මහානාම විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 387 (87.4) සිනෙත් වීරරත්න 91, දුල්නිත් සිගේරා 189, චාමික හීනටිගල 30, සනුල් වීරරත්න 28, ඔෂධ පෙරේරා 3/63, රන්දීශ බණ්ඩාරනායක 2/45, හමිඩ් අෆ්ඩාල් 2/79
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 54 (18.0) ශෙවාන් වෙල්ගම නොදැවී 25
තරගයේ විසඳුමක් නෑ.
තරගයේ දක්ෂතම පන්දු රකින්නා – තවිරු පෙරේරා (මහානාම විද්‍යාලය)
තරගයේ දක්ෂතම පන්දු යවන්නා – චාමික හීනටිගල (මහානාම විද්‍යාලය)
තරගයේ දක්ෂතම පිතිකරු – මියුරු බණ්ඩාර (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
තරගයේ වීරයා – දුල්නිත් සිගේරා (මහානාම විද්‍යාලය)
මෙම තරගයට සමගාමී ව දෙවිදුහල් අතර අරවින්ද ද සිල්වා අභියෝගතා ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 17 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
රන් සටන වාර්ෂික තුන් දින ක්‍රිකට් තරගයේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 1 නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















