IPG සල්ලි ගෙවලා නැද්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ප්‍රකාශයක්

451

LPL නොහොත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාලව IPG ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිදු කළ යුතු ගෙවීම් පැහැර හැර තිබෙන බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ මාධ්‍ය නිකුත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන ලද විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියකට අනුව, ඩුබායි හි පිහිටි IPG ආයතනය සඳහා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අයිතිවාසිකම් ප්‍රදානය කර තිබෙනවා. ඒ 2020 වසරේ සිට 2024 දක්වා LPL තරගාවලි 5ක් වෙනුවෙන්. 

එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය විසින් ගිවිසුම් ගත වුනු ගිවිසුමට අනුව 2020 සහ 2021 වසරවල දී IPG ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත වසරකට ඇමරිකානු ඩොලර් 1,925,000ක මුදලක් ගෙවීම වෙනුවෙන් එම සමාගම (IPG) බැඳී තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේ දී 2020 වර්ෂය සඳහා ගෙවිය යුතු LPL අයිතිවාසිකම් ගාස්තුවෙන් ඇමරිකානු ඩොලර් 150,000ක මුදල් ප්‍රමාණයක්, IPG ආයතනය විසින් ලංසු ඇපයක් ලෙස ගෙවා තිබෙන අතර ඊට අමතරව තවත් ඇමරිකානු ඩොලර් 850,000ක් ගෙවා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටිනවා. ඒ අනුව IPG ආයතනය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් (2020ට අදාලව) දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවා තිබෙනවා.

එසේම ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ අනපේක්ෂිත COVID-19 රැල්ලක් ඇතිවීම, ගුවන් ගමන් සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවීම, නිරෝධායන රෙගුලාසි නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා වැයවුණු මුදල්, භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සහ සංචාරක සීමාවන් නිසා පැනවුණු තහංචි යන කරුණු කාරනා රැසක් නිසාවෙන් ඇතිවුණු යම් යම් අවිනිශ්චිතතාවයන් සැලකිල්ලට ගනිමින්, 2020 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවිය යුතු තරගාවලියේ අයිතිවාසිකම් මුදල් කොටස් ලෙස ගෙවීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ට යම් සහනයක් ලබාදෙන ලෙස IPG ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. 

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධායක සභාවේ අනුමැතිය ඇතිව ඔවුන්ගේ එකඟතාවය පළ කර තිබෙනවා. නමුත් මේ වන විට LPL තරගාවලිය අවසන් වී මාස කිහිපයක් ගත වී ඇති නමුත් එම හිඟ මුදල් ප්‍රමාණය තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැහැ.

IPG හි සාධාරණ පාලනයෙන් ඔබ්බට ගිය එම තත්වයන් සැලකිල්ලට ගනිමින් IPG විසින් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් IPG ආයතනය වෙත ගෙවීම් සැලැස්මක් ලබා දී තිබෙනවා.

එසේම 2023 වන තෙක් ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් රූපවාහිනී නිෂ්පාදන සේවා සැපයීම සඳහා IPG ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා. එහි සමස්ත නිෂ්පාදන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.3ක්.

එපමණක් නොව, දෙපාර්ශවය අතර ඇති කර ගත් ගිවිසුමට අනුකූලව, එම නිෂ්පාදන සේවා ගිවිසුම යටතේ IPG වෙත ගෙවිය යුතු මුළු මුදලෙන් ඇමරිකානු ඩොලර් 200,000ක් අයකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් පියවර ගෙන තිබෙනවා. 

ඊට අමතරව ඉතිරි ඇමරිකානු ඩොලර් 725,000ක මුදල ද IPG ආයතනයෙන් අයකර ගත යුතු වෙනවා. 2021 වසරේ LPL ආරම්භ වීමට පෙර පොලී මුදල් සමඟම එම මුදල් අය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<