විලියම්සන්ගේ ශතකය වැස්සෙන් සේදී යයි

235
ICC Champions Trophy 2017
ESPN Cricinfo වෙබ් අඩවියෙනි

ලෝක ක්‍රිකට් කුසලානයට පමණක් දෙවැනි වන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පළමු වැනිදා නිළ වශයෙන් ආරම්භ විය. A කාණ්ඩයේ තවත් උණුසුම් තරගයක් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ඊයේ (2) එංගලන්තයේ බ්‍රිමින්හැම් නුවර දී පැවැත්විය. එයට නොකඩවා පතිත වූ වර්ෂාපතනය නිසාවෙන් තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය.

>>ආබාධ මැද වාර්තා වූ රූට්ගේ ශතකය; එංගලන්තයට ජය!

නිත්‍ය පිතිකරුවන් 6 දෙනෙකු සමඟින් බල ගැන්වුනු නවසීලන්ත කණ්ඩායම් නායක කේන් විලියම්සන් කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. තරගය ආරම්භ කළ මොහොතේ පටන් එඩ්ග්බස්ටන් ක්‍රීඩා පිටියට ඉහළින් පැහැදිලි අහසක් දැක ගන්නට නොලැබුණු අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායම තමාට පළමුව පන්දු රැකීමට හැකි වීම සම්බන්ධව සතුටට පත්විය.

නවසීලන්තය වෙනුවෙන් ඉනිම ආරම්භ කළ මාටින් ගප්ටිල් හා දකුණත් පිතිකරු ලුක් රොන්චි පළමු කඩුල්ල සඳහා පන්දුවාර 5 පන්දු 4ක් තුල ලකුණු 40ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එම සබඳතාවය අවසන් කරමින් 4 පහර 5ක් සමඟ ලකුණු 26ක් රැස්කර ගෙන සිටි ගප්ටිල් ලකුණු 26කට දැවී ගියේ, පොයින්ට් කලාපයේ සිටි ග්ලෙයින් මැක්ස්වෙල් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. නායක කේන් විලියම්සන්ගේ ආගමනයට පසුව තවත් පන්දුවාර 4ක් පමණ ක්‍රියාත්මක වෙද්දී, වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම නිසාවෙන් තරගය මිනිත්තු 10ක් පමණ ප්‍රමාදයකින් පසුව යළිත් ආරම්භ වූයේ එක් පිලකට පන්දුවාර 46ක් පමණක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙමිනි.

විශේෂඥ වේග පන්දු යවන්නන් තිදෙනෙකුගෙන් සමන්විත වන ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට ක්‍රමයෙන් හිසරදයක් බවට පත්වූ කඩුලු රකින ක්‍රීඩක රොන්චි පන්දු 43ක් තුල ලකුණු 65ක් රැස්කරගත්තේ ඕස්ට්‍රේලියානුවන්ට 4 පහර 9ක් හා 6 පහර 3කින් සංග්‍රහ කරමිනි.

දෙවන කඩුල්ල බිඳවැටීමෙන් පසුව ක්‍රියාත්මක වූ රොස් ටේලර් හා නායක කේන් විලියම්සන් පන්දුවාර 25ක් වන විට ලකුණු 158ක් දක්වා කිවියන්ගේ ලකුණු පුවරුව ඔසවා තබන ලදි. අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරුවන් දෙපලක් වන ටේලර් හා විලියම්සන් තෙවන කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ අතර, එම සබඳතාවය ලකුණු 99ක් ලෙස සටහන් වෙද්දී ලකුණු 46ක් ලබාගෙන මැදපෙළ පදනම සැකසූ ටේලර් හෙස්ටින්ග්ස්ගේ පන්දුවකට කවර් කලාපයට උඩ පන්දුවක් ලබා දෙමින් අවාසනාවන්ත ලෙස දැවී යන ලදි.

තම 9 වැනි ශතකය ලබාගෙන පිටියේ සිව්දෙසම ආවරණය කරමින් තම පිත්ත ක්‍රියාත්මක කළ සුපිරි පිතිකරු විලියම්සන් පන්දු 97ක් තුල 4 පහර 8ක් හා දැවැන්ත 6 පහර 3ක් සමඟින් ලකුණු 100ක් ලබාගෙන සිටිය දී දුවද්දී දැවී යාමකට හසු විය. ඒ වන විට ඔවුන් පන්දුවාර 39යි පන්දුවක් තුල දී කඩුලු 4ක් දැවී ලකුණු 254ක් ලබාගෙන සිටියේය.

[rev_slider ct17-dsccricket]
.

පසුව පිටියට පැමිණි නවසීලන්ත පිතිකරුවන් සියල්ලක්ම පාහේ දැවැන්ත පහර එල්ල කරමින් ලකුණු රැස්කර ගැනීමට වෑයම් කළ ද, එක් අන්තයක් හෝ රැක ගත්තේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමටත් පෙරාතුව, අවසන් කඩුලු 6 ලකුණු 34ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් තුල දවා ගැනීමට ජෝස් හේසෙල්වූඩ් ඇතුළු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකි විය.

මෙහි දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙයින් මැක්ස්වෙල් උඩපන්දු 4ක් සාර්ථකව රැකගෙන නවසීලන්ත ඉනිමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත්වීම කැපීපෙනෙන සිදුවීමක් වූ අතර, ජෝස් හේසෙල්වූඩ් තම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් ලකුණු 52ක් තුල කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 292ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට දෙවනුව පිටියට පිවිසීමට ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙපළ සූදානමින් සිටිය ද, වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය මෙම තරගයෙන් තවත් මිනිත්තු 35ක් මෙන්ම තවත් පන්දුවාර 13ක් උදුරා ගන්නා ලදි. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තම ජයග්‍රහණය සඳහා පන්දුවාර 33ක් තුල ලකුණු 235ක ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව විනිසුරුවරුන් විසින් ලබා දෙන ලදි.

අනතුරුව පිටියට අවතීර්ණ වූ වමත් පිතිකරු ඩේවිඩ් වෝනර් හා ආරොන් ෆින්ච්ගේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 27කට සීමා කරමින්, ලකුණු 18ක් ලබාගෙන සිටි වෝනර් වමතින් වේග පන්දු යවන ට්‍රෙන්ට් බෝල්ට්ගේ සුපිරි පන්දුවකට දැවී ගියේය. කැන්ගරුවන්ගේ ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් එක් වෙද්දී වෝනර්ගේ සඟයා වූ ප්‍රහාරාත්මක පිතිකරු ෆින්ච් ලකුණු 8කට දැවී ගියේ මිඩ්විකට් කලාපයේ සිටි ටේලර් වෙතට උඩපන්දුවක් ලබා දෙමිනි. එම කඩුල්ල ඇඩම් ම්ලයින්ගේ කඩුලු ගොන්නට එකතු විය. නායක ස්ටීව් ස්මිත් හා දකුණත් පිතිකරු මොයිසස් හෙන්රිකස් බිඳ වැටෙමින් තිබූ ඕස්ට්‍රේලියානු මැදපෙළට යම් ආධාරකයක් වීමේ අරමුණින් පිටියට පැමිණිය ද, රිසිලෙස 4 පහර 4ක් එල්ල කිරීමට අවස්ථාව ලබා දෙමින් හෙන්රිකස්ව වේගවත් පිතිකරණයක් වෙත නම්මා ගත් උපක්‍රමශීලී නවසීලන්ත පන්දු යවන්නන් ඔහුගේ කලබලකාරී වූ ඉනිම ද ලකුණු 18කට අවසන් කළේ, නවසීලන්ත කණ්ඩායමට  තරගයේ වැඩි වාසිය හරවා දෙමිනි.

ඒත් සමඟින් නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, මිනිත්තු 30ක් පමණ නොකඩවා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය. නවසීලන්තය වෙනුවෙන් දකුණතින් වේග පන්දු යවන ඇඩම් ම්ලියන් ලකුණු 9ක් තුල කඩුලු 2ක් දවාලමින් දස්කම් දැක්විය.

නවසීලන්තය – සියල්ලන්ම දැවී 291 (පන්දුවාර 45): කේන් විලියම්සන් 100, ලුක් රොන්චි 65, රොස් ටේලර් 46, මාටින් ගප්ටිල් 26, ජෝස් හේසෙල්වූඩ් 6/52, ජෝන් හෙස්ටින්ග්ස් 2/69

ඕස්ට්‍රේලියාව – 53/3 (පන්දුවාර 9): මොයිසස් හෙන්රිකස් 18, ඩේවිඩ් වෝනර් 18, ස්ටීව් ස්මිත් 8*, ඇඩම් ම්ලයින් 2/09

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන B කාණ්ඩයේ පළමු තරගය තරගය අද (3) එංගලන්තයේ ලන්ඩන් නුවර, ඕවල් පිටියේ දී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ට ආරම්භ වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට