ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට සුබ පණිවිඩයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

552

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට සූදානම්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 36 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව අද (11) හඳුනා ගෙන තිබෙනවා. ඒ ඊයේ (10) සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුවයි.

ඒ අනුව මේ මස 4 සහ 5 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හෙට (12) දිනයේ දී පවත්වන බවත්, පසුව එළඹෙන අඟහරුවාදා (16) සිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණු වීම් ආරම්භ කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

මීට පෙර සිදු කළ පරීක්ෂණවල දී පුහුණුකරු Mickey Arthur සහ ලහිරු තිරිමාන්නට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අණාවරණය වුනා.

එම හේතුව නිසාවෙන් ශ්‍රී ලංකා – කොදෙව් තරග සංචාරය ද තාවකාලිකව කල් දැමීමට පියවර ගැනුණු නමුත් දෙරටේ ක්‍රිකට් බලධාරීන් තරගාවලියේ තරග ගණන අඩු කර හෝ තරගාවලිය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මේ වන විට සලකා බලමින් සිටිනවා.

මයිකල් තිසේරා සහ ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ද තරගාවලියක් වෙනවා. පෙර සැලසුම් කර ගත් තරග කාලසටහනට අනුව මේ තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්ව තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

කොදෙව් සංචාරය ඉලක්ක කරමින් 35 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතයක් කාණ්ඩ තුනක් යටතේ ජනවාරි 28 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කරනු ලැබූ අතර මීට පෙර වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට ද කොරෝනා වයිරසය ආසාදනය වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<