“අපේ ක්‍රිකට් එකේ නැති වෙලා තියෙන දේ මම දන්නවා” – මුරලි

339
muththaiya muralitharan

ටෙස්ට් සහ එක්දින තරග රටාවේ ලොව වඩාත් සාර්ථකම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් 2011 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී දැනට වසර 10ක් ගෙවී ගොස් තිබුණ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඔහු වැඩි සම්බන්ධයක් පැවැත්වූයේ නැහැ.

මුරලි ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ දී Sunrisers Hyderabad මෙන් ම, ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙක් ලෙස සිය දායකත්වය ලබා දුන්න ද, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක්ව කටයුතු කරන බවක් දක්නට නොලැබුණි. මෙම තත්ත්වය මත ඔහු මේ වන විට අරවින්දගේ සිල්වාගේ සභාපති ධුරයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස එක්ව කටයුතු කිරීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

මේ පිළිබඳ සිය අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් පවසා තිබුණේ,

‘’ඇත්තටම කිව්වොත් කවුරුවත් මට මීට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වෙන්න එන්න කියලා නැහැ. ඒත් නාමල් (ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ) මට කතා කරලා ඇහුවා, මට ශ්‍රී ලංකා ක්‍රිකට් එක වෙනුවෙන් උදව් කරන්න පුළුවන් ද කියලා. මම කිව්වා එනවා නම් එය හොඳ කණ්ඩායමක් විය යුතුයි කියලා. ඇත්තටම කිව්වොත් ඒ් කිව්වා වගේම අපිට අරවින්ද, කුමාර් සංගක්කාර සහ මහානාම වගේ හොඳ ක්‍රිකට් ගැන දැනුමක් තියෙන පිරිසක් මේ කමිටුවේ ඉන්නවා.‘’

‘’මේ කමිටුව තුළ 1980 දශකයේ සිට 2015 වසර දක්වා ක්‍රීඩා කරපු අය ඉන්නවා. ඒ් වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයට දීපු ක්‍රීඩකයන් තිදෙනෙක් ඉන්නවා. අපි කණ්ඩායමක් විදියට අවශ්‍ය යෝජනා සාමුහිකව සාකච්ඡා කරලා ජාතික ක්‍රීඩා මණ්ඩලයට ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඇත්තටම කීවොත් ක්‍රීඩාව තුළ මට හතුරෝ නැහැ.’’

‘’2015 පස්සේ සියලු දේ අවුල් සහගතයි. අපිට දැන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වට පවා ක්‍රීඩා කරන්න වෙලා. මොනම තරගයක් වත් දෙන්නේ නැතිව අපි දැන් ටෙස්ට් තරග පරාජය වෙනවා. කණ්ඩායමේ විනය සම්පූර්ණයෙන් පිරිහිලා. මම ක්‍රීඩකයෙකු ලෙසත් පුහුණුකරුවෙකු ලෙසත් ඉහළම තැනට යනකම් දන්නවා. ඒ් නිසා අපේ ක්‍රිකට් එකෙත් නැති වෙලා තියෙන දේ මම දන්නවා.”

පසුගිය දා පත්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නව තාක්ෂණික කමිටුවේ සාමාජිකයින් ඉදිරි දින කිහිපය තුල තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා මුණගැසීමට නියමිතය.

Island.lk ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<