‘2010 හොල්මන් ගෝලය’ ගැන ප්‍රීති වන එංගලන්තය

FIFA World Cup 2022

222

ගෝල වෙනස මත ජර්මනිය විස්මිත අයුරින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට විසි වීම පිළිබඳව එංගලන්ත ක්‍රීඩාලෝලීන් අතිශයින් ප්‍රීති වෙමින් සිටිනවා.

ජර්මනිය ගෝල 4-2කින් කොස්ටාරිකා කණ්ඩායම පැරදවූවත්, ස්පාඤ්ඤයට එරෙහිව ජපානය වාර්තා කළ ගෝල 2-1ක විස්මිත ජයග්‍රහණය හේතුවෙන් ජර්මන් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ කද මළු බැදගෙන කටාර් දේශයේ සිට ආපසු සිය රට බලා යාමට සිදු වුනා.

ජපානය සහ ස්පාඤ්ඤය අතර පැවති තරගයේ යම් මතභේදයක් හට ගැනුණා. ඒ, Ao Tanakaට ජයග්‍රාහී ගෝලය ලබා ගැනීම සඳහා හරස් පහර එල්ල කිරීමට පෙර පන්දුව ක්‍රීඩාවෙන් පිටතට ගොස් තිබූ බවට නැගුණු චෝදනාව හේතුවෙන්. එහෙත් එම ගෝලයේ වරදක් නැති බව VAR සමාලෝචනයකින් පසුව තීරණය කෙරුණා.

තරගයේ අවසන් විසිල් හඬ නිකුත් වීමෙන් පසුව එංගලන්ත ක්‍රීඩාලෝලීන් ජපානයේ ඒ මතභේදාත්මක ගෝලය 2010 ලෝක කුසලාන තරගාවලියේ Frank Lampardගේ හොල්මන් ගෝලය සමඟ සංසන්දනය කළා. එම තරගාවලියේ ජර්මනිය සමඟ පැවති තරගයේ දී එංගලන්ත ක්‍රීඩක Lampard ගෝලය ලබා ගත්තේ ගෝල රේඛාව හරහා යමින් බවට තීරණය කරමින් ඒ ගෝලය ඔහුට ලබා දුන්නේ නැහැ. මෙය එංගලන්තය ගෝල 4-1ක දරුණු පරාජයක් ලැබ අවසන් කණ්ඩායම් 16 දෙනාගේ වටයෙන් ඉවතට විසි වී යාමට මුල් වුනා.

මේ මතභේදාත්මක ගෝල රේඛා තීරණයට ස්තුතිවන්ත වන්නට ජර්මනිය තරගාවලියෙන් ඉවතට විසි වීම මිහිරි පලිගැනීමක් ලෙසින් එංගලන්ත ක්‍රීඩාලෝලීන්ට සලකනවා.

එය මතභේදාත්මක ගෝලයක් ද, නැද්ද කියන එක මට කොහෙත්ම වැදගත් නැහැ. මේකෙන් ඇති වන වේදනාව මොන වගේ ද කියලා දැන් ජර්මනියට තේරෙනවා ඇති. නියමයි ජපානය… නියමයි! උඹලා මේ ජයග්‍රහණයට සුදුසුයි,” එක් Twitter භාවිත කරන්නෙක් පවසා තිබෙනවා.

තවත් පුද්ගලයෙක් මෙසේ tweet කර තිබුණු; “මේ ගෝලය 2010 වසරේ Lampard‌ගේ හොල්මන් ගෝලය වෙනුවෙනුයි. කර්මය පඩිසන් දෙන්න අවුරුදු 12ක් ගත වෙන්න ඇති. නමුත් ජර්මනිය මේ අයුරින් තරගාවලියෙන් නෙරපෙන හැටි බලා ඉන්න ආසයි.”

Alex Curran තවත් පණිවිඩයක් එක් කරමින් මෙසේ කියනවා; “මීට පෙර 2010 වසරේ එංගලන්තය සහ Frank Lampardට දැනුණු වේදනාව සහ කලකිරීම දැන් ජර්මනියට දැනිලා තියෙනවා. පන්දුව ඉර කැපුවා ද, නැද්ද යන ‘මතභේදාත්මක’ ගෝලයක් කණ්ඩායමක් ඉදිරියට යනවා ද, ගෙදර යනවා ද කියා තීරණය කෙරෙන වෙනස වෙන්න පුළුවනි.”

1990 තරගාවලියේ අවසාන තරගයේ දී බටහිර ජර්මනියට පරාජය වූ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙකුව සිටි Gary Lineker මෙසේ හාස්‍යමය සටහනක් තබා තිබෙනවා; “පාපන්දුව ඉතාම සරල ක්‍රීඩාවක්. පුද්ගලයන් 22 දෙනෙකු මිනිත්තු 90ක් තිස්සේ පන්දුවක් හඹා යනවා. අවසානයේ, ජර්මානුවන් සැමවිටම දිනනවා. ඒ, ඔවුන් මූලික වටයෙන් එහාට ගියොත්.”

ජර්මනිය ගෝල 4-2කින් ජය ගෙන තරගාවලියෙන් ඉවතට විසි වීම හරිම විහිළු උපදවන දෙයක් බවට තවත් පුද්ගලයෙක් සටහන් කර තිබෙනවා.

“Lampardට යුක්තිය ඉටු වීමක්! ඔහුට ලෝක කුසලාන ගෝල 0ක් ලැබුණේ එදා ඔහුට සිදු වූ ඒ අයුක්තිය නිසායි,” තවත් ක්‍රීඩාලෝලියෙක් ප්‍රකාශ කර තිබුණා.

තරු මෙන් දිලිසෙන දෑස් අයා ගෙන, මුවගට සිනහවක් ද නගා ගෙන Frank Lampard මේ දෙස බලා සිටිනු නොඅනුමානයි. මෙය ඔහු‌ගේ 2010 ගෝලයට යුක්තිය ඉටු කිරීමක්,” යැයි තවත් සටහනක සඳහන්.

ලැම්පාඩ්ගේ හොල්මන් ගෝලයේ පලිය ගත්තා”… මේ තවත් සටහනක්.

තවත් ක්‍රීඩාලෝලියෙක් Twitter සටහනක් තැබුවේ VAR ක්‍රමවේදයට විහිළුවක් එල්ල කරමින්; 2010 දී ලබා නොදුන් ගෝලයේ තමන්ගේ පලිය ගනිමින් VAR පාලන මැදිරියේ Frank Lampard ඉන්නවා කියලා මට හොඳටම විශ්වාසයි.”

තවත් සටහන සඳහන් වුනේ, “VAR කාමරයේ ඉන්න Frank Lampardගෙන් අතිවිශිෂ්ට කාර්යභාරයක්!” යනුවෙන්.

ජර්මනියේ ඉවත් වීම සලකුණු කරන්නේ 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔවුන් පසුගිය ලෝක කුසලාන තරගාවලි දෙකේ දී ම මූලික වටයෙන් ම ඉවතට විසිව යාම.

මේ අතර ජපානය අවසන් කණ්ඩායම් 16 දෙනාගේ වටයේ දී ක්‍රොඒෂියාව මුණගැසීමට නියමිතව සිටිනවා. ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියහොත් ජපානයේ ප්‍රතිවාදියා වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ මේ තරගාවලියේ ජනප්‍රිය කණ්ඩායම වන බ්‍රසීලය.

විස්මිත ජයග්‍රහණයෙන් පසුව ජපානය දැන් ඔවුන්ගේ හොඳම ලෝක කුසලාන පාපන්දු අවසානය ඉලක්ක කර ගෙන සිටින ජපාන පුහුණුකරු Hajime Moriyasu ප්‍රකාශ කරනවා.

අවසානය ගැන කතා කරද්දී, අපේ අළුත් ඉලක්කය වී තිබෙන්නේ අවසාන කණ්ඩායම් අට (අර්ධ අවසන් පූර්ව වටය). අවසන් අට දෙනාගේ හෝ ඊටත් වඩා හොඳ වාර්තාවක් තැබීමට මම කැමතියි,” Moriyasu කියනවා.

තරගාවලියේ මීට පෙර ජපානය හමුවේ ජර්මනිය ලැබූ පරාජය ඔවුන්ට අවසානයේ තීරණාත්මක සාධකයක් බවට පත්වූ අතර ස්පාඤ්ඤයට එරෙහි ජයග්‍රහණයත් සමඟ ජපානය එම කොටසේ පෙරමුණට පැමිණියා. ඔවුන් දැන් 16 දෙනාගේ වටයේ දී ක්‍රොඒෂියාව මුණගැසීමට නියමිතව තිබෙනවා.

එක් අවස්ථාවක දී ස්පාඤ්ඤය සහ ජර්මනිය ඉදිරි වටයට යන බවක් හැඟෙන්නට වූයේ ජර්මනියට එරෙහි තරගයේ දී කොස්ටාරිකා කණ්ඩායම ගෝල 2-1කින් පෙරමුණට පිවිසි විට. එහෙත් ජර්මනිය නැවත සටන් කරමින් ගෝල් ත්‍රිත්වයක් ලබා ගත්තේ ඒ රාත්‍රියේ තරගය ජය ගනිමින්. කෙසේ වෙතත් අනෙක් තරගයේ දී ස්පාඤ්ඤය, ජපානයට පරාජය වීමත් සමඟ සමස්ත ලකුණුවලින් ජපානය සහ ස්පාඤ්ඤය ඔවුන්ගේ තරග කොටසේ පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වීමත් සමග ජර්මනිය තරගාවලියෙන් විසි වුනා.

ජපානය ගෝල 2-1කින් ස්පාඤ්ඤය පරාජය කළේ මේ තරගාවලියේ දෙවැනි වතාවටත් තරගයේ පසුපසින් සිට දෙවැනි භාගයේ ඉදිරියට පැමිණෙමින් වීම විශේෂත්වයක්. මේ ජපන් ජයග්‍රහණය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී සිදු වූ තවත් පෙරළිකාර ජයග්‍රහණයක්.

තරගයේ මිනිත්තු 45ක් ම ජපානය සිටියේ සම්පූර්ණයෙන්ම පරාද වෙමින්. එහෙත් පසුව පිටියට පිවිසි ආදේශ ක්‍රීඩකයින් තරගය වෙනස් කළ අතර ජපානයට ගෝල 2-1ක ජයක් හිමි වුනා. එයින් එක් ක්‍රීඩකයෙකු වන Ritsu Doanගේ ගෝලයෙන් ජපානය තරගයේ ගෝල 1-1ක සම තත්ත්වයට පිවිසියේ Ao Tanaka තීරණාත්මක දෙවැනි ගෝලය එක් කිරීමට පෙර.

ජපානයේ දෙවැනි ගෝලය ඇදහිය නොහැකි තරමට මතභේදාත්මක වූ අතර ස්පාඤ්ඤය කියා සිටියේ එය ක්‍රීඩාවෙන් පිට සිදු වූ ගෝලයක් බව. එහෙත් පන්දුව පිටිය තුළ තිබූ බව VAR පරීක්ෂණය තහවුරු කළා.

ජපානයේ ගෝලයට අවසර ලැබීමත් සමඟ ජර්මන් හදවත් බිඳී ගියා. ජර්මන් ක්‍රීඩකයන් පිටියේ කඳුළු සලන්නට වූ අතර ජර්මන් ක්‍රීඩාලෝලී නරඹන්නන් ශෝකයෙන් කම්පාවට පත්ව සිටියා. ඒ, කොස්ටාරිකා කණ්ඩායමට එරෙහිව ජර්මනියට ජයග්‍රහණයක් අවශ්‍ය තිබුණා සේ ම ස්පාඤ්ඤය විසින් ජපානය පැරදවීමත් ජර්මනියට අවශ්‍යව තිබූ නිසා.

ජර්මනිය පළමු අවශ්‍යතාව සපුරා ගත්ත ද, මතභේදාත්මක ජපන් ගෝලයෙන් සිව් වතාවක් ම ලෝක ශූරයින් වූ ජර්මනියට මෙවරත් කලින් ම ආපසු සිය රට බලා යන්න සිද්ධ වුනා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<