18න් පහල රග්බි කණ්ඩායමත් රන් සටනට

288
Sri Lanka U18 Rugby

තායිවානයේ දී  ආරම්භ වූ ආසියානු පාසල් 18න් පහළ රග්බි තරගාවලියේ පළමු වටයේ තරග 3ම ජයගන්නට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් සමත් විය. ඔවුන් ඊයේ උදෑසන සත්කාරකයින් සහ පිලිපීන කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතයි. පළමු වටයේ තරග තොරතුරු මෙසේයි.

පසුගිය ලිපි: ශ්‍රි ලංකාව ආසියානු ශූරතාවය දිනා ගනි

පළමු තරගය

ශ්‍රී ලංකාව 49 – 00 එක්සත් අරාබි එමීර් රාජ්‍යය.

පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට කිසිදු පීඩනයක් එල්ල කරන්නට එක්සත් අරාබි එමීර් කණ්ඩායමට නොහැකි විය. ශ්‍රී ලංකා නායක නවීන් හේනකංකානම්ගේ විසින් කණ්ඩායමේ උත්සාහක දිනුම් වර්ෂාව ආරම්භ කල අතර ඔහුගේ උත්සාහක දිනුම් ද්විත්වයට අමතරව අවිශ්ක ෂෙයික් (2), විනුල් ප්‍රනාන්දු (1), දිලූෂ්ක දන්ගේ (1) මෙන්ම සිය මංගල ජාත්‍යන්තර අත්දැකීම සනිටුහන් කල තීක්ෂණ දසනායක (1) , උත්සාහක දිනුම් වාර්තා කරන ලදී. හරිත් බණ්ඩාර, චතුර සෙනෙවිරත්න සහ අනුක් බෝයගොඩ එක්ව සියලු ප්‍රවර්තනද සාර්ථක කරගන්නට සමත් විය.

දෙවන තරගය     

ශ්‍රී ලංකාව  42 – 00 චීනය

අකුණු සහිත කාලගුණය හේතුවෙන් තරමක ප්‍රමාදයකින් පසුව ආරම්භ වූ මේ තරගයේ පලමු අර්ධය අවසන් වූයේ ශ්‍රී ලංකා යෞවනයන් ලකුණු 21 – 00 ක් ලෙස පෙරමුණට ගෙන එමිනුයි. චමෝද් ප්‍රනාන්දු උත්සාහක දිනුම් 2කුත්, චතුර සෙනෙවිරත්න එක් උත්සාහක දිනුමකුත් වාර්තා කරන ලදී.

නායක හේනකංකානම්ගේ සහ දිලුෂ්ක දන්ගේ වාර්තා කල උත්සාහක දිනුම් මෙන්ම අනුක් බෝයගොඩ, දිනුක් අමරසිංහ සුසංයෝගය වාර්තා කල උත්සාහක දිනුමත් සමග පළමු අර්ධයේ ලකුණු දෙගුණ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙවරත් ඔවුන්ගේ සියලුම ප්‍රවර්තන සාර්ථක වූ අතර ප්‍රතිවාදීන්ට මෙවරත් ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

3වන තරගය

ශ්‍රී ලංකාව  38 –  05 සිංගප්පූරුව

වර්ෂාවෙන් පසු ක්‍රීඩාංගනය තෙත බරිතව පැවතීම හේතුවෙන් පන්දුව පාලනය කිරීම තරමක් අසීරු තත්ත්වයකට පත්ව තිබුනත් දිනයේ අවසන් තරගයත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ග්‍රහණයටම නතු විය. කෙසේවෙතත් මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු රැස් කළ පළමු කණ්ඩායම බවට පත්වන්නට සිංගප්පූරුව සමත් විය. නමුත් නායක නවීන් හේනකංකානම්ගේ යලිත් වරක් පළමු අර්ධයේ දෙවරක් ලකුණු රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 12 – 05ක් ලෙස පෙරමුණට ගෙන එන්නට සමත් විය.

දෙවන අර්ධයේදී වඩාත් වෘත්තීය මට්ටමේ දස්කම් ප්‍රදර්ශනය කල ශ්‍රී ලංකා යෞවනයන් උත්සාහක දිනුම් 4ක් ලබා ගනිද්දී චතුර සෙනෙවිරත්න ඉන් 3කම ප්‍රවර්තන සාර්ථක කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාව අද පෙරවරු 8. 10ට පිලිපීනය සමගත් ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10. 10ට චීන තායිපේ කණ්ඩායම සමගත් තරග වැදීමට නියමිතයි. එම තරග දෙකේදීත් ජයග්‍රහණය සඳහා වැඩි වාසි ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතයි. යම් ප්‍රාතිහාර්යක් වන සිදුවීමකින් ශ්‍රී ලංකාව එම තරග දෙකම පරාජය වුවොත් හැරෙන්නට කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව සමග තරග වදින්නට පිලිපීනය සහ චීන තායිපේ අතර සටනක් පවතිනු ඇති.

මෙම තරගාවලියේ උණුසුම් තොරතුරු සජීවීව දැනගැනීම සඳහා ThePapare.com සමගින් රැඳී සිටින්න.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට