චාමික‌ගේ කඩුලු 9න් නැගීඑන කණ්ඩායම පෙරට එයි

Bangladesh Emerging Team tour of Sri Lanka 2023

419
Bangladesh Emerging Team Tour of Sri Lanka 2023

සංචාරක බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති සිව්දින ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව පසුගිය දා අවසන් වුනා. 

තරග 2කින් යුත් මෙම තරගාවලියේ එකඳු තරගයක හෝ විසඳුමක් නොවූව ද සංචාරක ක්‍රීඩකයෝ පළමු තරගයේ දී ද සහ සත්කාරක ක්‍රීඩකයෝ දෙවැනි තරගයේ දී ද දක්ෂතා දැක්වීම කැපී පෙනුණා.  

මෙම තරගාවලියට පෙර දෙරට කණ්ඩායම් අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් පැවති අතර එම තරගාවලියෙන් 2-1ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.  

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම් සංචිතය: සොනාල් දිනූෂ (නායක), නවෝද් පරණවිතාන, අභිශේක් ලියනාරච්චි, පවන් රත්නායක (කඩුලු රකින්නා), අහන් වික්‍රමසිංහ, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), චමිඳු විජේසිංහ, කල්හාර සේනාරත්න, ශෂික දුල්ශාන්, ඒෂාන් මාලිංග, නිපුන් ප්‍රේමරත්න, සකුන් ලියනගේ, චමිඳු වික්‍රමසිංහ, චාමික ගුණසේකර, තීසාන් විතුසාන්. 

  • පළමු සිව්දින තරගය – දඹුල්ල, ඔක්තෝබර් 25 – 28, 2023 

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 501 (126.3) සහ දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 147 (72.2) 

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 298 (72) සහ කඩුලු 5ක් දැවී 69 (20) 

තරගයේ විසඳුමක් නෑ.  

  • දෙවැනි සිව්දින තරගය – දඹුල්ල, ඔක්තෝබර් 31 – නොවැම්බර් 03, 2023 

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ක්‍රීඩකයන්ට පෙර තරගයේ දී මෙන් දක්ෂතා අතරට පැමිණීමට ඉඩ ලැබුණේ නැහැ. ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 251ක් පමණයි.  

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ 22 වැනි වියේ පසු වන දකුණත් පිතිකරු Akbar Ali. ඔහු පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 129ක් ලබා ගත්තා.  

ඔහු පිටියට පිවිසෙන විට බංග්ලාදේශ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 54ක් ලෙසයි. ඒ වෙද්දී ඉනිමේ ක්‍රියාත්මක වෙමින් තිබුණේ ද 10 වැනි පන්දුවාරයයි.  

කෙසේ වෙතත් එතැන් සිට බංග්ලාදේශ ඉනිම ගොඩ ගැනීමට Akbar Aliගේ මඟ පෙන්වීම යටතේ Rakibul Hasan ද ඒ වුනා. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 94ක සබඳතාවක් එක් කළා. Rakibul Hasan පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

අනතුරුව Akbar Aliට එක් වුනේ Hasan Murad. ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 85ක් සබඳතාවක් පැවැත්වූවා. එහි දී Hasan Murad පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

බංග්ලාදේශ ඉනිම අඩපන කිරීමේ දී 23 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මද වේගපන්දු යවන චාමික ගුණසේකර වැඩි වැඩ කොටසක් කළා. ඔහු ලකුණු 58කට කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වුනා. දැවී ගිය අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය චමිඳු විජේසිංහ සතු වුනා.  

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 261ක් ලබා ගත්තා. එහි දී මෙම තරගයේ දී පළමු වරට කඩුලු රැකිමේ අත් ආවරණ හිමි වූ පවන් රත්නායක පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා. ඊට අමතර ව අහන් වික්‍රමසිංහ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 39ක්. ඊට පන්දු 51ක් වැය ව තිබූ අතර හතරේ පහර 6ක් ද ඒ අතර තිබුණා. 

ලකුණු 10ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ බංග්දේශ ක්‍රීඩකයෝ තරගය නතර කරන විට තම දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 149ක් ලබා සිටියා. එහි දී ආරම්භක පිතිකරුවන් විසින් ලකුණු 123ක සබඳතාවක් එක් කිරීම කැපී පෙනුණා.  

Aich Mollah පන්දු 77කට  මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ද සහ Amite Hasan පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ද ලබා ගත්තා.  

ඉනිමේ දැවි ගිය කඩුලු 2 කල්හාර සේනාරත්න විසින් දවා ගත්තා.  

කෙටි ලකුණු පුවරුව  

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම – පළමු ඉනිම පන්දුවාර 85.5ක දී සියලුම දෙනා දැවී 251: Akbar Ali 129, Rakibul Hasan 36, Hasan Murad 27, චාමික ගුණසේකර 9/58  

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – පළමු ඉනිම පන්දුවාර 75.3ක දී සියලුම දෙනා දැවී 261: නවෝද් පරණවිතාන 22, සොනාල් දිනූෂ 25, අහන් වික්‍රමසිංහ 39, පවන් රත්නායක 69, චමිඳු වික්‍රමසිංහ 24, කල්හාර සේනාරත්න 23, Ripon Mondol 4/83, Musfik Hasan 2/40, Nahid Rana 3/56

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම – දෙවැනි ඉනිම පන්දුවාර 32.0ක දී කඩුලු 2ක් දැවී 149: Aich Mollah 64, Amite Hasan  65, කල්හාර සේනාරත්න 2/42

තරගාවලියේ පිතිකරුවන්ගේ දක්ෂතා  

තරගාවලියේ ඉහළ ම දක්ෂතා දැක්වූ පිතිකරු බවට පත්වුනේ 20 හැවිරිදි වියේ පසුවන බංග්දේශයේ  Aich Mollah. ඔහු පළමු තරගයේ දී ලබා ගත් ශතකයක් සහ දෙවැනි තරගයේ දී ලබා ගත් අර්ධ ශතකයත් සමඟින් ලබා ගත් ලකුණු සංඛයාව 236ක්. 

ඊට පසු ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ 21 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු නවොද් පරණවිතාන සතු වුනා. එක්දින තරගාවලියේ දී ද ලකුණු අතර සිටි ඔහු පළමු තරගයේ දී ලබා ගන්නා ලද ශතකයත් සමඟින් ලකුණු 170ක් ලබා ගන්නවා.  

එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සත්කාරක කණ්ඩායමේ නායක සොනාල් දිනූෂ සමත් වුනා. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 158ක්. ඊට පළමු තරගයේ දී වාර්තා කරන ලද ශතකයක් ද ඇතුළත්.

අනතුරුව ලැයිස්තුව සැකසෙන්නේ පාකිස්තාන පිතිකරුවන් 5 දෙනෙක් යටතේයි. ඒ අතර අවසන් තරගයේ දී ශතකයක් ලබා ගත්  Akbar Ali ද සිටිනවා. ඔහු ක්‍රීඩා කරන්නේ එම තරගයට පමණක් වන අතර පිතිකරු ලැයිස්තුවේ ඊට හිමි ස්ථානය 5 වැනි අසුනයි.

ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ තෙවැනි අසුන වෙන්කර ගැනීමට පවන් රත්නායක සමත් වෙනවා. අර්ධ ශතකයක් ද සමඟින් ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 74ක්.

තරගාවලියේ පන්දු යවන්නන්ගේ දක්ෂතා  

කඩුලු දවා ගත් ලැයිස්තුවේ පළමු ස්ථාන 4 ම හිමිකර ගැනීමට ශ්‍රි ලංකා පන්දු යනන්නෝ සමත් වීම කැපී පෙනුණා. එහි පළමු ස්ථානය දිනා ගන්නේ අවසන් සිව්දින තරගයට පමණක් ක්‍රීඩා කළ චාමික ගුණසේකරයි. ඔහු එම තරගයේ පළමු ඉනිමේ දි කඩුලු 9ක් දවා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා. 

දකුණිත් මද වේගපන්දු යවන 23 හැවිරිදි වියේ පසුවන චාමික ගුණසේකර, 2022 වසරේ දී ශ්‍රී ලංකා වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් 203 වැනි ක්‍රීඩකයායි. එහෙත් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් මතකය එම තරගයට පමණක් සීමා වෙනවා.

සිම්බාබ්වේ සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගයේ දී චාමිකට යැවීමට හැකි වෙන්නේ එක් පන්දුවාරයක් පමණයි. ලකුණු 8ක් ලබා දුන් එම පන්දුවාරයෙන් පසුව චාමික ආබාධිත තත්ත්වයක් මත පිටියෙන් ඉවත් වුනා.  

චාමිකගෙන් පසුව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය තවත් වේ‍ෙපන්දු යවන්නෙක් වන 22 වැනි වියේ පසුවෙන ඒෂාන් මාලිංග සතු කර ගන්නවා. ඔහු ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 5ක්. 

ඊට පසුව කඩුලු 4ක් බැගින් ලබා ගත් ශෂික දුල්ශාන් සහ කල්හාර සේනාරත්න මෙම ලැයිස්තුව හා එක් වෙනවා. 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම ඒ ආකාරයෙන් ම විඳ ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<