SLTB අභියෝගය මඟ හැර ගත් කොළඹට ජය

570

කැළණිය ක්‍රීඩාංගණයේ දී පැවති FA කුසලාන පාපන්දු තරගාවලියේ 64 දෙනාගේ වටයේ තරගයකින් කොළඹ පාපන්දු සමාජය, ගෝල 2-0ක් වශයෙන් SLTB (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) කණ්ඩායම පරාජය කරන්නට සමත් විය.

මන්නාරම ජෝසප් වාස් කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කළ SLTB කණ්ඩායම තෙවන වටයට සුදුසුකම් ලැබූ අතර කොළඹ පාපන්දු සමාජය සිය 2016/17 තරග වාරයට එළඹුණේ තෙවන වටයෙනි.

මෙවර තරගාවලිය විදේශික ක්‍රීඩකයන්ට ක්‍රීඩා කළ නොහැකි තරගාවලියක් වශයෙන් සටහන් වීම නිසා කොළඹ පාපන්දු සමාජය තරගය ආරම්භයේ දී එතරම් හොඳින් ක්‍රීඩා නොකළේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ කණ්ඩායම තුළ විදේශික ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ක්‍රීඩා කරන බැවිනි. ගෙවී ගිය ඩයලොග් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරයන් බවට ද පත්වූ ඔවුන්ගේ මැද පෙළ සවිමත් කළ මොමාස් යාපෝ රහිතව ඔවුන් මඳක් අපහසුවෙන් ක්‍රීඩා කරන බවක් දිස්විය.

කෙසේ වෙතත් නාගුර් මීරා විසින් එල්ල කළ ප්‍රහාරයක් සමඟින් පළමුවෙන් උත්සාහයක් සිදු කළේ කොළඹ පාපන්දු සමාජය වුවත් ප්‍රතිවාදී ගෝල රකින ක්‍රීඩක සුදේශ් සුරංග, එය වළකාලීය. චාමර ජයවීර, SLTB කණ්ඩායම වෙනුවෙන් අවස්ථාවක් නිර්මාණය කර ගත් නමුත් ඔහු ද අසාර්ථක විය.

ධනුෂ්ක මධුෂන්කගෙන් එල්ල වුනු ප්‍රහාරයක් අතිදක්ෂ ලෙස වළකන්නට සුදේශ් සමත්වීමත් සමඟ පළමු අර්ධය නිමා වූයේ කිසිවෙකුට ගෝල ලබා නොදෙමිනි.

පළමු අර්ධය – කොළඹ පාපන්දු සමාජය 0-0 SLTB ක්‍රීඩා සමාජය.

දෙවන අර්ධයේ ආරම්භක ක්‍රීඩක ලැයිස්තුවට එක්ව සිටි ඩිලාන් කෞශල්‍ය, දෙවන අර්ධය ආරම්භයේදීම ගෝලයක් රැස්කළේය.

SLTB කණ්ඩායමේ නදීෂ විසින් දෝෂ සහගත අභියෝගයක් කළ බැවින් ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවූ අතර එතැන් සිට SLTB කණ්ඩායම ක්‍රීඩා කළේ ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙනි.

ක්‍රීඩකයන් 10 දෙනෙකු සිටිය ද කොළඹ කණ්ඩායමට අභියෝග කළ SLTB ක්‍රීඩකයන් වෙනුවෙන් ඉරෝෂන් ග්‍රේරෝ හිසින් පන්දු පහරක් එල්ල කළත් එය සාර්ථක කර ගන්නට ඔහු අසමත් විය.

සර්වාන් ජොහාර් සහ මධුශංක අවස්ථා කිහිපයකදීම SLTB ගෝලය ආසන්නයේ දී අසාර්ථක විය. නමුත් එක් අවස්ථාවක දී මධුශංක විසින් ගෝලයට යාර 35ක් පමණ එපිට සිට එල්ල කළ පහරක් ගෝලය තුළට රිංගා ගියේය. එබැවින් තරගය තුළ සාර්ථක වූයේ කොළඹ පාපන්දු සමාජයයි.

සම්පූර්ණ කාලය – කොළඹ ක්‍රීඩා සමාජය 2-0 SLTB ක්‍රීඩා සමාජය.

කොළඹ පාපන්දු සමාජයේ මොහොමඩ් රූමි, තරගයෙන් අනතුරුව පැවසුවේ මෙවන් අදහසක්.

“ඉක්මන් ගෝල කිහිපයක් අවශ්‍ය වුණත් ශස්නිට ඒක ආරක්ෂකයින් ලඟ දි අපහසු වුණා. සර්වාන් ඉදිරියට යොදලා ශස්නිව පසුපසට ගත්තේ ඒකයි. ආරක්ෂණයේ දී මොමාස් යාපෝගේ අඩුව අපට දැනුණා. සර්වාන් සහ රාම් හොඳින් සෙල්ලම් කළා. ඩිලාන් ටිකක් අපහසුවෙන් ක්‍රීඩා කළේ ඔහුට කොන්දේ ආබාධයක් තියෙන නිසා. ඔහුට ඉක්මනින් සුව වේවි. අපේ වැරදි අපි දෙවන වටයේ දී හඳුනා ගත්තා. ඉතින් අපි ආරක්ෂක පෙලට ඉහළින් පන්දුව ගෙන ගියා වගේම ඒක සාර්ථක වුනා.”

SLTB පුහුණුකරු පැවසුවේ මෙවන් අදහසක්.

“මාස කිහිපයකට කලින් තමයි මට මේ කණ්ඩායම හමුවුණේ.  ඔවුන් තවමත් කණ්ඩායමක් හැටියට එක්කාසු වෙලා නෑ. ප්‍රතිවාදී කණ්ඩායමේ නම් වලට අපි ටිකක් බය වෙලා හිටියා කියලයි මට හිතෙන්නේ. 10 දෙනෙකුට කණ්ඩායම සීමාවීමත් පරාජයට බලපෑවා වගේම හිසින් එල්ල කරපු පහර ගෝලයක් වුණා නම් තත්වය වෙනස් වෙන්න තිබුණා.”

ගෝල රැස්කළ ක්‍රීඩකයන්.
කොළඹ – ඩිලාන් කෞශල්‍ය 52′, ධනුෂ්ක මධුශංක 78′.

කහ කාඩ්පත්.
කොළඹ – ඩිලාන් කෞශල්‍ය 22′, අෆීල් මොහොමඩ් 35′, සිරාජ් මොහොමඩ් 57′.

SLTB – සී.නදීෂ 35’& 55′, සී.පෙරේරා 60′.

රතු කාඩ්පත්නදීෂ 55′ (SLTB).

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට