ශ්‍රී ලංකාවේ අපරාජිත ඔටුන්න ගැලවෙයි

345

2019 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් සිව්වැනි තරගය අද (04) සිංගප්පූරුව සමඟින් පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් පැමිණි අපරාජිත බව නිමා කිරීමට සිංගප්පූරුව සමත් වූයේ ලකුණු 58-66ක් ලෙස ජයග්‍රහණය කරමිනි. තරගය ජපානයේ කශීමා ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියාව, නේපාලය හා තායිලන්තය හමුවේ ප්‍රබල ජයග්‍රහණ තුනක් වාර්තා කිරීමට සමත්ව සිටි අතර සිංගප්පූරු කණ්ඩායම ද එම කණ්ඩායම් තුන පරාජය කරමින් මෙම තරගයට පැමිණ සිටියේය. 

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

2019 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවේ ශ්‍රී ලාංකික දස්කම් පසුගිය දින….

ශ්‍රී ලංකා කණ්ඩායම තරග ආරම්භයේ දී එතරම් වේගවත් ක්‍රීඩා රටාවක් ක්‍රීඩා නොකළ අතර පන්දුව වැඩි කාලයක් සිංගප්පූරුව සතුවීම ශ්‍රී ලංකාවේ අවාසියට හේතු විය. පළමු කාර්තුව නිමා වූයේ ලකුණු 09-20ක් ලෙස සිංගප්පූරුවට පෙරමුණ ගෙන දෙමිනි. 

දෙවන කාර්තුවේ දී ද සිංගප්පූරුව පන්දුව තමන් සන්තකයෙ තබා ගනිමින් තරගයේ වැඩි වාසි ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගන්නා ආකාරයක් දක්නට ලැබුණි. එම කාර්තුව නිමා වූයේ ලකුණු 20-40ක් ලෙස සිංගප්පූරුවට පෙරමුණ ගෙන දෙමිනි. 

තුන්වැනි කාර්තුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ලෙස ආක්‍රමණය කළ අතර ක්‍රීඩා කරන වේගය වැඩි කරමින් ක්‍රීඩා කළේය. මෙලනි විජේසිංහ තම සුපුරුදු දස්කම් අතරට පැමිණි අතර එම කාර්තුව නිමා වන විට ලකුණු පරතරය ලකුණු 13ක් දක්වා අඩුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාර්තුව නිමා වූයේ ලකුණු 40-53ක් ලෙස සිංගප්පූරුවට පෙරමුණ ගෙන දෙමිනි. 

මෙලනිගේ ප්‍රහාරයෙන් නේපාලයට අසාධ්‍යයි

2019 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ දෙවන දිනයට අදාළ තරග….

සිව්වැනි කාර්තුවේ දී ප්‍රබල ක්‍රීඩා විලාසයක් කණ්ඩායම් දෙකම පෙන්වු අතර මෙම තරගය පරාජය වන කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී වර්තමාන ශූරියන් වන මැලේසියාව හමුවීමට නියමිත වීම තරග ජයග්‍රහණය ලබා ගැනීමට තවත් අවශ්‍යතාවක් විය. සිව්වැනි කාර්තුව ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට හැකි සියලු දක්ෂතා තරගය වෙත යොමු කළ නමුත් නියමිත කාලය අවසන් වන විට ලකුණු 8ක පරතරයකින් ජයග්‍රහණය කිරීමට සිංගප්පූරුව සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී මැලේසියාව සමඟින් තරග වැදීමට නියමිතයි. මැලේසියාව A කාණ්ඩයේ පෙරමුණ ගත් කණ්ඩායම වන අතර වර්තමාන ශූරියන් ද වේ. සිංගප්පූරුව හොංකොං කණ්ඩායම සමඟින් අනෙක් අවසන් පූර්ව වටය සඳහා සහභාගි වනු ඇත. 

ශ්‍රි ලංකා කණ්ඩායම හා මැලේසියා කණ්ඩායම සමඟ තරගය එළඹෙන ජූලි 6 වන සෙනසුරාදා පැවැත්වේ. 

2019 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<