තවත් ප්‍රබලයන් තිදෙනෙක් IPL ප්‍රතික්ෂේප කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

948

තවත් සුපිරි ක්‍රීඩකයන් කීපදෙනෙකු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියරෙන් ඉවත් වන බව අද (12) නිවේදනය කළා. 

ඒ අතරට Sunrises Hyderabad කණ්ඩායමේ Jonny Bairstow, Punjab Kings කණ්ඩායමේ Dawid Malan මෙන්ම Delhi Capitals කණ්ඩායමේ Chris Woakes ද එයට ඇතුළත් වුනා. ඔවුන් මෙලෙස ඉවත් වීම නිවේදනය කරමින් පවසා සිටියේ පෞද්ගලික හේතූන් මත තරගාවලියෙන් ඉවත් වන බවයි. 

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම මේ වන විට එංගලන්ත සංචාරයක් සඳහා එක්ව සිටින අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා සහභාගී වන ඉන්දීය සහ එංගලන්ත ක්‍රීඩකයන් මැන්චෙස්ටර් සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා එකම ගුවන් යානයකින් පැමිණීමට මීට පෙර සැලසුම් කර තිබුණා. 

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ නිලධාරීන් කීපදෙනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසාවෙන් ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පස්වැනි තරගය අවලංගු කිරීමට ක්‍රිකට් ආයතන පියවර ගෙන තිබුණා. මේ නිසා එක් එක් ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් හට සිය ක්‍රීඩකයන් ගෙන්වා ගැනීම සඳහා වෙනම ගුවන් යානා යොදාගැනීමට සිදු වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා තිබෙනවා.

ඉන්දීය එංගලන්ත පස්වැනි ටෙස්ට් තරගයට පෙර සිදු කරන ලද පරීක්ෂණයක දී ඉන්දීය කණ්ඩායමේ කනිෂ්ඨ භෞතචිකිත්සකවරයා වන Yogesh Parmer හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුනා. ටෙස්ට් තරගය අවලංගු කෙරුණේ ඒ අනුවයි.

සිව්වැනි ටෙස්ට් තරගය අතරතුර සිදු කළ පරීක්ෂණවල දී ඉන්දීය ප්‍රධාන පුහුණුකරු Ravi Shastri හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ අතර සෙසු පුහුණුකරුවන් නිරෝධායනයට යොමු කර තිබුණා. ඉන්දීය කණ්ඩායම සිව්වැනි ටෙස්ට් තරගයේ අවසන් දින කීපය ක්‍රීඩා කළේ පුහුණුකරුවන් නොමැතිව වීම විශේෂත්වයක්.

එළඹෙන 19 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා සහභාගී වන සියලු ක්‍රීඩකයන් සහ නිලධාරීන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණීමෙන් අනතුරුව දින 6ක නිරෝධායන කාලසීමාවක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය වනවා. Jonny Bairstow සහ Dawid Malan තරගාවලියෙන් ඉවත් වීමට ප්‍රධාන හේතුව එලෙස නිරෝධායන කාලසීමාවක් පැනවීම වීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

PTI වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු Jonny Bairstow සහ Dawid Malan තරගාවලියෙන් ඉවත් වන බව තහවුරු කර තිබුණා. The Guardian පුවත්පත විසින් Chris Woakes ද තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා කළා.

“Jonny Bairstow සහ Dawid Malan ඩුබායි බලා යන ගුවන් යානයේ ගමන් ගන්නේ නැහැ. මීට කලින් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ට නිරෝධායන කාලසීමාවක් පනවා තිබුණේ නැහැ. මේ ක්‍රීඩකයන් ඉවත් වෙන්න මූලික හේතුව වුනේ මේ නිරෝධායනය අවශ්‍ය වීමයි”, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිටියා.

Jonny Bairstow Sunrises Hyderabad කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන අතර ලොව අංක එකේ විස්සයි විස්ස පිතිකරුවා වන Dawid Malan ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්වුනේ මෙම වසරේ මුල් භාගයේ දීයි. Dawid Malan ගෙන් හිස්වන ස්ථානය සඳහා Aiden Markram නම් කර තිබෙනවා.

“විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සහ අළුබඳුන තරගාවලියට කලින් Malan සිය පවුලේ අය සමඟින් කාලය ගත කරනු ඇති”, Punjab Kings කණ්ඩායම සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර යටතේ තමන් සහභාගී වූ තරග 7 දී ලකුණු 248ක් වාර්තා කිරීමට Jonny Bairstow සමත් වුනා. ඒ 141ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින්. 

ඉදිරි මාස කීපය තුල ලෝක කුසලාන තරගාවලියක් සහ තවත් තරගාවලි කීපයක් පැවැත්වීමට සැලසුම් කර තිබීම ක්‍රීඩකයන්ට විශේෂයෙන් ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත වඩාත් කාර්‍යබහුල කාලසීමාවක් නිර්මාණය කර තිබෙනවා. Jonny Bairstow, Dawid Malan සහ Chris Woakes ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ද සහභාගී වුනා. 

ලෝක කුසලාන තරගාවලිය සඳහා ද විශේෂ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල කටයුතු කිරීමට සිදුවීම ක්‍රීඩකයන්ගේ මානසිකත්වය සඳහා ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලබනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවීම මඟින් මෙම ක්‍රීඩකයන්ට සිය පවුලේ අය සමඟින් ගත කිරීමට වැඩි කාලයක් හිමිවනවා.

Bairstow, Malan සහ Woakes ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිත අළුබඳුන තරගාවලිය සඳහා ද නම් කර තිබෙනවා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව විසින් සංචාරකයන් සඳහා දැඩි නීති පනවා තිබීම නිසා එම තරගාවලිය අවලංගු වීමට ඉඩ ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

Times of India ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<