ඇෆ්ගනිස්තානයෙන් ක්‍රිකට් ලෝකයට ඉල්ලීමක්

521

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දී තම රට තනි නොකරන ලෙස ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සියලු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම්වලින් ඉල්ලා තිබෙනවා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ වත්මන් තලේබාන් පාලනය විසින් කාන්තාවන් සඳහා ක්‍රීඩාව තහනම් කරන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

තලේබාන් පාලනය විසින් කාන්තාවන් සඳහා දැඩි නීති රීති පනවා ඇති පසුබිමක් තුල තම ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රීඩාව තුල තනි නොකරන ලෙස ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය මෙලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

තලේබාන් පාලනයේ ඉහළ ප්‍රකාශකයෙකු පසුගිය බදාදා (8) සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට යොමුව තිබුණා. එහි දී ඔහු පවසා සිටියේ කාන්තාවන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කරන බවයි. 

මෙම සිදුවීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දී ඔවුන් පවසා සිටියේ තලේබාන් පාලනය කාන්තාවන් හට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදෙන්නේ නම් එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගය අවලංගු වීමට වඩාත් ඉඩ ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සිය කනගාටුව සහ විමතිය පලකර තිබුණා. එහි ප්‍රධාන විධායක Hamid Shinwari මේ සම්බන්ධයෙන් පවසා සිටියේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ මෙම ස්ථාවරය පිළිබඳව තමන් පුදුමයට සහ කනගාටුවට පත්වන බවයි. එය කලබලකාරී සහ  විමසීමකින් තොරව ගෙන ඇති තීරණයක් බවත් ඔහු පවසා සිටියා.

“ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය විදිහට අපිට ඇෆ්ගනිස්තානයේ සංස්කෘතිය සහ ආගමික ඇදහීම් වෙනස් කරන්න බැහැ. අපිට ඔබගේ දොර විවෘත කරලා තියන්න. අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න. අපි මේ සිදුවීම එක්ක ගොඩක් කනගාටුවට පත්වෙලා ඉන්නේ. අනෙක් රටවල්වල ක්‍රිකට් ආයතන ඕස්ට්‍රේලියාව අනුගමනය කළොත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි කොන් වෙනවා. අපේ ක්‍රිකට් සංවර්ධන ව්‍යාපෘති සියල්ල අවසන් වෙනවා. ඊටත් වඩා ඇෆ්ගනිස්තානයෙන් ක්‍රිකට් ක්‍රීඩාව අතුරුදන් වේවි”, Hamid Shinwari පවසා සිටියා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් 2010 වසරේ දී කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් බිහිකිරීම ආරම්භ කළ අතර එය වසර කීපයකින් අනතුරුව අවලංගු කිරීමට සිදු වුනේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු කීපයක් නිසාවෙන්. කෙසේ වෙතත් පසුගිය වසරේ දී ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් නව මානයකට යොමුකරමින් ක්‍රීඩිකාවන් 25 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත් ලබා දීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා.

“මේ වත්මන් රජය ඔවුන්ගේ නීති සහ සෙසු ක්‍රියාමාර්ග තවමත් ප්‍රකාශ කරලා නැහැ. ඇෆ්ගනිස්තානය දැන් සංක්‍රාන්ති සමයක ඉන්නේ”, Shinwari පවසා සිටියා.

ඇෆ්ගනිස්තානය තුළ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ද අවධානය යොමු වී තිබෙනවා. එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පවත්වන එහි විශේෂ කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

19 වැනි සියවසේ දී එරට රැඳී සිටි බ්‍රිතාන්‍ය සෙබළුන් විසින් ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර තිබුණා. නමුත් ඇෆ්ගනිස්තානයේ නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූයේ 1990 වසරේ දීයි. ඒ පාකිස්තානයේ අනාථ කඳවුරුවල සිටි ඇෆ්ගනිස්තානුවන් නැවත ඇෆ්ගනිස්තානය වෙත පැමිණීමෙන් අනතුරුවයි.

1996-2001 කාල සීමාව තුළ ඇෆ්ගනිස්තානය තුල ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමට තලේබාන් පාලනය ක්‍රියා කළ අතර පසුව ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු අතිමහත් ජනප්‍රියත්වය නිසා එයට අවසර ලබා දී තිබුණා. 

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පදනම 1995 වසරේ පාකිස්තානයේ දී පිහිටවා තිබුණා. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය 2001 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකත්වය ලබා ගත් අතර 2017 වසරේ දී පූර්ණ සාමාජිකත්වය ලබාගෙන තිබුණා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<