කුසල් පෙරේරා දෙවැනි විස්සයි විස්සට සූදානමින්

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

979

ශ්‍රී ලංකා කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරු කුසල් පෙරේරා දකුණු අප්‍රිකාව සමඟ අද (12) පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

COVID-19 වයිරසය ආසාදනය වීමෙන් සම්පූර්ණ ලෙස සුවය ලබා සිටින කුසල් පළමු විස්සයි විස්ස තරගයට පෙර පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ඔහුට එම තරගය මඟ හැරී ගියත්, ඔහු දෙවැනි තරගයට පෙර පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 28කින් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වී තිබෙන නිසා අද පැවැත්වෙන දෙවැනි තරගය ශ්‍රී ලංකාව ජය ගත යුතුම වෙනවා. 

එසේ නොවුනහොත් තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වන අතර, ලෝක  කුසලාන විස්සයි විස්ස තරගාවලියක් අභියස මෙවැනි තරගාවලියක ජයක් ලබා ගැනීමට හැකි නම් එය කණ්ඩායමට ඉතාමත් විශාල සවියක් වනු නිසැකය.

පසුගිය ජූලි මාසයේ දී එංගලන්තය සමඟ පැවති ක්‍රිකට් තරගාවලියේ දී උරහිස ආශ්‍රිතව ආබාධයකට ලක්වීම නිසාවෙන් ඔහුට තරග සහ තරගාවලි කිහිපයක්ම මඟ හැරී ගිය අතර ඉන් සුවය ලබා සිටිය දී පසුගිය අගෝස්තු 15 වැනිදා ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වුනා. ඒ නිසාවෙන් ඔහුට නිමා වුණු Dialog-SLC T20 ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තීරණාත්මක දෙවැනි විස්සයි විස්ස තරගය අද (12) රාත්‍රි 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එහි සියලු තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<