JP Duminy දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ එක්වෙයි

5058

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දීමට නව විශේෂඥයින් දෙදෙනෙක් නම් කර තිබෙනවා. 

දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු ලාභියා වන JP Duminy මෙලෙස විශේෂඥයෙක් ලෙස කණ්ඩායමට දායකත්වය ලබා දීමට සූදානම් අතර Justin Sammons ද ඔහුගේ සහයට නම් කර තිබෙනවා. 

දකුණු අප්‍රිකානු සහය පුහුණුකරු Enoch Nkweගේ හිඩැස පිරවීමටත් Sammonsව භාවිතා කිරීමට දකුණු අප්‍රිකාව කටයුතු කරන බව ද වාර්තා වෙනවා. 

Duminy හා Sammons දෙදෙනාම දකුණු අප්‍රිකානු ප්‍රාන්ත කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස කටයුතු කරන අතර Duminy ජොහැන්ස්බර්ග් හි කණ්ඩායමක් වන Lions කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා. Lions කණ්ඩායම සමඟ මීට පෙර කටයුතු කර තිබෙන Sammons දකුණු අප්‍රිකානු North West කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා. 

“Justin ශ්‍රී ලංකා සංචාරයේ දීත් කණ්ඩායම හා කටයුතු කරමින් ක්‍රීඩකයින් සමඟ හොඳ සබඳතාවයක් ගොඩනගාගෙන තිබෙනවා”, දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂක Graeme Smith පවසා තිබුණා. “JP විස්සයි විස්ස ආකෘතියට හොඳින්ම ගැළපෙනවා. ක්‍රීඩකයෙක් විදියට ඔහුගේ දස්කම් එයට හොඳ සාක්ෂියක්.”

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Mark Boucher කටයුතු කරන අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස Charl Langeveldt කටයුතු කරනවා. පන්දු රැකීමේ පුහුණුකරු ලෙස Justin Ontong කටයුතු කරද්දී Duminy හා Sammons පිතිකරණ අංශයේ විශේෂඥයින් ලෙස කණ්ඩායමට සහය ලබා දීමට නියමිතයි.

espncricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<