T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2021

570

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (12) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමේ උප නායකත්වය ධනංජය ද සිල්වා වෙත ලබා දී තිබෙන අතර කඩුලු රකින පිතිකරුවන් ලෙස දිනේෂ් චන්දිමාල් සහ කුසල් පෙරේරා මේ සංචිතය සඳහා නම් කර තිබෙනවා. 

23 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු මෑතක දී පැවති සීමිත පන්දුවාර තරගවල දී ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසීමට සමත් වූ අතර ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කළ හැකි 24 හැවිරිදි චරිත් අසලංක ද මේ සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා.

කලක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණ ස්ථානයක් බවට පත්ව තිබෙන අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂ මේ සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය පිතිකරුවන් 6 දෙනෙක් මේ සංචිතය සඳහා ඇතුළත්.

දසුන් ශානක, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, වනිඳු හසරංග සහ ලහිරු මධුසංක යන ක්‍රීඩකයින් මේ ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයේ සිටින තුන් ඉරියව් දස්කම් දැක්විය හැකි ප්‍රධාන ක්‍රීඩකයින් වෙනවා.

ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනා ලෙස වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග කටයුතු කරනු ඇත. ඔවුන් දෙදෙනාම දකුණු අප්‍රිකානු විස්සයි විස්ස තරගාවලිය නිමා වූ වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටව යන්නේ, මෙවර IPL තරගාවලියේ ඉතිරි තරගවල දී Royal Challengers Bangalore නියෝජනය කිරීම වෙනුවෙනි.

චමීරගේ ප්‍රධානත්වයෙන් යුත් වේගපන්දු බල ඇණිය සවිබලගැන්වීම වෙනුවෙන් දකුණතින් වේගපන්දු යවන නුවන් ප්‍රදීප් ද මේ සංචිතය සඳහා ඇතුළත්. 21 හැවිරිදි මහීෂ් තීක්ෂණ සහ ප්‍රවීන් ජයවික්‍රම දඟපන්දු බල ඇණිය සවිබල ගන්වනු ඇත.

එසේම මෙහි අතිරේක ක්‍රීඩකයින් ලෙස අකිල දනංජය, බිනුර ප්‍රනාන්දු, පුලින තරංග සහ ලහිරු කුමාර නම් කර තිබෙනවා.

ICC විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර ඔක්තෝබර් 10 වැනිදාට පෙර සියලු කණ්ඩායම්වල නිල සංචිත තෝරා අවසන් කර යුතුයි. 

ඉන්පසුව තවත් මාසයකට ආසන්න කාලයක් ඇතුළත (ඔක්තෝබර් 10 වැනිදා දක්වා) සංචිතවල යම් වෙනස්කමක් වෙතොත් ඒ සඳහා අවසර හිමි වන අතර එළඹෙන දකුණු අප්‍රිකානු විස්සයි විස්ස තරගාවලියේ දී ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ ද යම් වෙනසක් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු මධුසංක, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, නුවන් ප්‍රදීප්,

අතිරේක ක්‍රීඩකයින් :  ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, පුලින තරංග, අකිල දනංජය

සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී A කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව එහි දී නැමීබියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය සමඟ තරග වැදීමට නියමිතයි. B කාණ්ඩය යටතේ බංග්ලාදේශය, ස්කොට්ලන්තය, ඕමානය සහ පැපුවා නිව් ගිනියාව තරග කරනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් සුපිරි 12 වටයට යාමට සමත් වුවහොත්, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පිළිවෙළින් A1 සහ B1 ලෙස සුපිරි 12 වටයේ සිය අසුන් වෙන් කර ගනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට තේරී පත්වුවහොත්, සුදුසුකම් ලබා ගැනීමේ වටයේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම (ස්කොට්ලන්තය/ඕමානය/PNG), ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සමඟ තරග කිරීමට නියමිතයි.

පළමු වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන,

  • නැමීබියාවට එරෙහි තරගය – ඔක්තෝබර් 18 වැනිදා – අබුඩාබි හිදි
  • අයර්ලන්තයට එරෙහි තරගය  – ඔක්තෝබර් 20 වැනිදා අබුඩාබි හිදි
  • නෙදර්ලන්තයට එරෙහි තරගය – ඔක්තෝබර් 22 වැනිදා සාජා හිදි

සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබාගතහොත් ශ්‍රී ලංකා තරග කාලසටහන,

  • ස්කොට්ලන්තය/ ඕමානය/ PNG සමඟ තරගය – ඔක්තෝබර් 24 වැනිදා සාජා හිදි
  • ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය – ඔක්තෝබර් 28 වැනිදා සාජා හිදි
  • දකුණු අප්‍රිකාවට එරෙහි තරගය – ඔක්තෝබර් 30 වැනිදා සාජා හිදි
  • එංගලන්තයට එරෙහි තරගය – නොවැම්බර් 1 වනිදා – සාජා හිදි
  • බටහිර ඉන්දීය කොදෙව් සමඟ තරගය – නොවැම්බර් 4 වැනිදා අබුඩාබි හිදි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<