ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දිගින් දිගටම ප්‍රබල දස්කම් දක්වන්නට සමත් වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය මේ වසරේදීත් තරගාවලියේ පෙරළියක් කරන්නට සූදානම්ව සිටි.

පාසල් රග්බි තරගාවලියේ ප්‍රබල මුහුණු කිහිපයක් ද සමඟින් මෙවර තරගාවලියට පිවිසෙන හැව්ලොක් කණ්ඩායමට ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට හැකි වෙයි ද?

අඛණ්ඩව පස්වැනි තරගාවලි ජය සොයා යන මහනුවර ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම ප්‍රබලතම ක්‍රීඩා සමාජයක් වන මහනුවර ක්‍රීඩා සමාජය..

අතීතයෙන් බිඳක්

1915 වසරේ පිහිටු වනු ලැබූ හැව්ලොක් ක්‍රීඩා සමාජය මෑත කාලීන ක්‍රීඩා සමාජ ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායමකි. ඔවුන් 2012 වසරේ දී අන්තර් සමාජ ලීග් කිරුල දිනා ගත්තේ ප්‍රබල මහනුවර හා නාවික හමුදා කණ්ඩායම් මවිත කරමිනි. 1950 වසර ඔවුන්ගේ ස්වර්ණමය වසරක් වන අතර එතැනින් ඇරඹුණු ඔවුන්ගේ ලීග් තරගාවලි ජයග්‍රහණ ගොන්නට 2012 වන විට ශූරතා 14ක් එකතු වී තිබුණි.

හිශාම් ආබ්දීන් හා ග්‍රැහැම් රොක්ස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් හැව්ලොක් කණ්ඩායමේ පහස ලබා ජාතික කණ්ඩායමට එක්වූ ක්‍රීඩකයින් වේ.

පසුගිය තරග වාරය

පසුගිය තරග වාරය හැව්ලොක් කණ්ඩායමට ඉතා සාර්ථක වර්ෂයක් වූ අතර ඔවුන් ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයෙන් තරගාවලිය අවසන් කරන්නට සමත් විය. ඔවුන් සහභාගී වූ තරග 14න් තරග 8ක් ඔවුන් ජය ගත් අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී තරග පහක් ඔවුන් පරාජය විය.

CH&FC කණ්ඩායමට එරෙහිව නොසිතූ පරාජයක් ලැබීමට සිදුවීම ඔවුන්ට දරුණු පසුබෑමක් වුනත්, නාවික හමුදා හා මහනුවර කණ්ඩායම්වලට ඔවුන් හොඳ තරගයක් ලබා දුන්නේය. පොලිස් ක්‍රීඩා සමාජය සමඟ තරගය ඔවුන්ට විශේෂම තරගයක් වූ අතර නොසිතූ ලෙස එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනේ ඔවුන්ට දෙවන ස්ථානයේ තරගාවලිය අවසන් කිරීමට තිබූ අවස්ථාව උදුරා ගනිමිනි.

>> ගුවන් හමුදාව නව බලාපොරොත්තු සමඟින් ඉගිළෙන්නට සැරසේ

හැව්ලොක් ක්‍රීඩා සමාජය පසුගිය තරග වාරයේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ ප්‍රසාද ලකුණු 52ක් සමඟින් වන අතර දෙවන ස්ථානයේ සිටි නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ලබා සිටියේ ලකුණු 53ක් පමණයි.

මෙවර තරග වාරය සඳහා සූදානම

ඉසිපතන විද්‍යාලය මෙන්ම ජාතික කණ්ඩායම ද අවස්ථා ගණනක දී නියෝජනය කර ඇති නිරෝෂාන් ප්‍රනාන්දු මෙවර කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරයි. ’Fly Half’ ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වන අතර ඔහුගේ සේවය මෙවර කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

ප්‍රවීණ පුහුණුකරුවෙකු වන සනත් මාටිස් මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙවරත් කටයුතු කරන අතර මෙවර කණ්ඩායම තවත් ශක්තිමත් කිරීමට ඔහු නව ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම කණ්ඩායමට ඇතුලත් කර ගෙන තිබේ.

>> දෙවන ස්ථානයෙන් ඉහළට යන්නට නාවිකයින්ට හැකි වෙයි ද?

සශාන් මොහොමඩ් හා සංදේශ් ජයවික්‍රම වැනි ක්‍රීඩකයින් මෙවර තරග වාරයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය හා එක්ව ඔවුන්ගේ බල ඇණි සවිමත් කරනු ඇත. ප්‍රවීණ හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඔවුන්ගේ ප්‍රධානතම තුරුම්පු වන අතර ෂාරෝ ප්‍රනාන්දු ඒ අතර ඉදිරියෙන්ම සිටියි.

ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු හා ප්‍රතිවාදී ක්‍රීඩකයින් බිඳ හෙළා ධාවනයේ නිරත වීමට ප්‍රකට ක්‍රීඩකයෙකු වන ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම අවියක් වනු ඇත. ‘Prop’ ක්‍රීඩක දුෂ්මන්ත ප්‍රියදර්ශන මෙවර ද කණ්ඩායමේ ප්‍රධානතම බර පැන උසුලන්නෙක් වන අතර පසුගිය තරග වාරයේ ඉතා හොඳින් ක්‍රීඩා කළ රීසා මුබාරක්, චාමර දාබරේ හා සඳුන් හේරත් යන ක්‍රීඩකයින් ද කණ්ඩායම වෙනුවෙන් පෙරමුණටම විත් සටන් වදිනු ඇත.

හැව්ලොක් ක්‍රීඩා සමාජය වේගවත් පසුපෙළකින් සමන්විත වන අතර නිමා වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී සුපිරි දස්කම් පෙන්වූ දිනුක් අමරසිංහ, මිතුන් හපුගොඩ හා ඉමංක ආරියපාල කණ්ඩායම වෙනුවෙන් සිය වේගය ලබා දෙනු ඇත.

නිමා වූ පාසල් තරග වාරයේ හොඳින් දස්කම් දැක්වූ සාන්ත ජෝසප් විද්‍යාලයේ ඩිලාන් කාවින්ද, වෙස්ලි විද්‍යාලයේ දයාන් සබාර් හා රාජකීය විද්‍යාලයේ මලීෂ මධුමෙවන් ද හැව්ලොක් කණ්ඩායමට කැඳවා ඇති අතර ප්‍රවිණයින්ගේ මාර්ගයේ යමින් කණ්ඩායම වෙනුවෙන් ඔවුන් ද සිය උපරිමය ලබා දෙනු ඇත.

හැව්ලොක් කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද එනම් නොවැම්බර් 9 වැනිදා යුධ හමුදා ක්‍රීඩා සමාජය සමඟින් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සජීව විකාශය හා සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සම්පූර්ණ සංචිතයට මෙතැනින් පිවිසෙන්න