බංග්ලාදේශයට එරෙහිව දැක්වූ දස්කම් නිසා Ashwin සහ Iyer ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම!

ICC Player Rankings

1698

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය Ravichandran Ashwin සහ Shreyas Iyer යන ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා ම නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී පිතිකරණ අංශයෙන් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඉන්දියාව සහ බංග්ලාදේශ අතර බංග්ලාදේශයේ මීර්පූර් හිදී පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසි බංග්ලාදේශ කණ්ඩායමට තිබූ අවස්ථාවක, ඉන්දීය දෙවැනි ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 71ක සම්බන්ධතාවක් පැවැත්වීමට Iyer සහ Ashwin සමත් වුනා.

මෙම තරගයේ දී Ashwin විසින් දැක්වූ තුන් ඉරියව් දක්ෂතා නිසා ඔහු සිය කණ්ඩායම් සාමාජික Jasprit Bumrah සමඟ ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල සම තැන් ගනිමින් සිව්වැනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර, ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ද ස්ථාන තුනක් ඉදිරියට එමින් 84 වැනි ස්ථානයට පත් වී තිබෙනවා.

එමෙන්ම කලක් ටෙස්ට් තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ වැජඹුණු Ashwin නැවත සිය කණ්ඩායම් සගයකු වන Ravindra Jadejaට පමණක් දෙවැනි වෙමින් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ද පැමිණ තිබෙනවා.

එමෙන්ම දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී දැක්වූ පිතිකරණ දක්ෂතා හේතුවෙන් Shreyas Iyer හට මෙතෙක් සිය ක්‍රිකට් ජීවිතයේ හිමි වූ හොඳම ශ්‍රේණිගත කිරීම් ස්ථානය ලබා ගැනීමට හැකි වී ඇති අතර, ඔහු ස්ථාන දහයක් ඉදිරියට එමින් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී 16 වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

මේ අතර මෙම තරගාවලියෙන් පසුව Cheteshwar Pujara සහ Virat Kohliගේ ශ්‍රේණිගත කිරීම්වල යම් පහළ බැසීමක් ද දකින්නට ලැබෙනවා.

එමෙන්ම ඉන්දීය ටෙස්ට් පිතිකරුවන් අතරින් දැනට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් ම සිටින Rishab Pant මෙම බංග්ලාදේශ තරගාවලියේ ද දස්කම් දක්වමින් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ තව දුරටත් රැඳී සිටින අතර, බංග්ලාදේශ පිතිකරු Litton Das ද ශ්‍රේණිගත කිරීම් හී සිය හොඳම ස්ථානය වාර්තා කරමින් 12 වැනි ස්ථානය තෙක් ඉදිරියට ඒමට සමත් වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවට මේ දිනවල ටෙස්ට් ක්‍රිකට් තරගාවලි කිසිවක් නොතිබූ නමුත් තවමත් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානයේ රැඳී සිටීමට දිමුත් කරුණාරත්න සමත් වී ඇති අතර, දිනේශ් චන්දිමාල් 15 වැනි ස්ථානයේත්, ඇන්ජලෝ මැතිව්ස් 18 වැනි ස්ථානයෙත් තව දුරටත් රැඳී සිටිනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<