වනිඳු හසරංගට ආබාධයක්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

294

ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉකිළි ප්‍රදේශය ආශ්‍රිත (groin) ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ නිසා ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය මඟ හැරෙනු බවයි වාර්තා වෙන්නේ.

ඕස්ට්‍රේලියාව සමඟ පසුගිය අඟහරුවාදා (14) පැවති පළමු එක්දින තරගයේ පන්දු යවමින් සිටිය දී ඔහු මේ ආබාධයට ලක්ව තිබෙන අතර කෙසේ හෝ එම තරගයේ දී ඔහු සිය පන්දුවාර 9 සම්පූර්ණ කරන්නට සමත් වුනේ ලකුණු 58කට කඩුලු 4ක් ද දවා ගනිමිනුයි.

ඔහු පිතිකරණයේ දී වේගවත් ඉනිමක් දියත් කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 සීමාවෙන් එපිටට රැගෙන යමිනුයි.

වනිඳු අද ස්කෑන් පරීක්ෂණයකට බඳුන් කර තිබුණු අතර එහි දී ඔහුගේ ආබාධය පාදයේ ආබාධයක් නොව ඉකිලි ප්‍රදේශය ආශ්‍රිත ආබාධයක් බව හඳුනා ගෙන තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආබාධ රැල්ලට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ගොදුරු වී තිබෙනවා. සුපිරි ක්‍රීඩක Marcus Stoinisට කොන්දේ පැත්තක සිදු වූ ආබාධයක් නිසා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ඉතිරි තරග සියල්ල මඟ හැරෙනු ඇති බව වාර්තා වෙනවා.

Ashton Agar ද එම ආබාධයටම ගොදුරු වී තිබෙන අතර ඔහු ද තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිතයි. Stoinisගේ ආබාධය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දරුණු ගැටලුවකට මුහුණ දීමට සිදු වන්නේ තවත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ Mitch Marsh ද කලව ආශ්‍රිත ආබාධයකට මුහුණ දී තිබීම නිසයි.

Cameron Green ද මේ දිනවල පන්දු නොයවන බව සඳහන්. ආබාධය සුව වුවහොත්, Marsh හා ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටින Mitchell Starc, ඉරිදා (19) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Agar දිගටම කණ්ඩායම සමඟ රැඳෙන අතර ඔහු ටෙස්ට් තරගාවලිය වෙත සිය අවධානය යොමු කරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණා.

Stoinis හා Agar වෙනුවට Matthew Kuhnemann හා Travis Head කණ්ඩායමට කැඳවා තිබෙනවා. Agar නොමැති නිසා Mitchell Swepsonට කණ්ඩායමට එකතු වීමට ද අවස්ථාවක් පවතින බවයි සඳහන් වෙන්නේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<