මුම්බායි මහගෙදරට ගොස් ලබා ගත් විශිෂ්ට පන්ජාබ් ජයග්‍රහණය

460

සුප්‍රසිද්ධ වන්කඩේ ක්‍රීඩාංගණයට එකම මීමැසි පොදියක් ලෙසින් ඒකරාශී වී සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ට ඊයේ (11) ලකුණු 453ක් වාර්තා වුනු අති විශේෂ තරගයක් දැකබලා ගැනීමට අවස්ථාව උදා විය.

කුළුඳුල් ශතකය පරදුවට තැබූ ශ්‍රෙයාස් දිල්ලියට ජය ගෙනෙයි

තවමත් 22 වැනි වියේ පසුවන යොවුන් දකුණත් පිතිකරු ශ්‍රෙයාස් අයර් ගේ විශිෂ්ට ඉනිම නිසාවෙන් ගුජරාට් ලයන්ස්..

එහි දී ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින් ජය ලබා ගත්තේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමයි. මුම්බායි පිළේ සාම්ප්‍රදායික මහගෙදර ලෙසින් සැලකෙන වන්කඩේ ක්‍රීඩාංගණයේ දී තියුණු සටනකින් අනතුරුව ලබා ගත් ජයග්‍රහණය නිසා පන්ජාබ් පිළට තවදුරටත් තරගාවලියේ සජීවීව රැඳී සිටීමට අවස්ථාව උදා විය.

කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක රෝහිත් ශර්මා ආගන්තුකයින්ට මුලින් පන්දුවට පහර දීමට ඇරයුම් කළේය. මෙවර තරග වාරයේ දී ශතක දෙකක් ලබාගත් හෂිම් අම්ලාගේ සේවය අහිමි වුවද එය ගැටලුවක් කර නොගත් නව ආරම්භක පිතිකරණ යුගලය වන මාර්ටින් ගප්ටිල් සහ ව්‍රිදිමන් සහා මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක් එක් කළහ. ගප්ටිල් පන්දු 18කින් ලකුණු 36යි. ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි පන්ජාබ් නායක ග්ලේන් මැක්ස්වෙල් පිටිය සිසාරා පහර දෙමින් පන්දු 21කින් ලකුණු 47ක් රැස් කළේය. ඊට හතරේ පහර 2ක් සහ දැවැන්ත හයේ පහර 5ක් අන්තර්ගත විය.

මැක්ස්වෙල්ගේ දැවී යාමෙන් අනතුරුව පන්ජාබ් කණ්ඩායමේ ලකුණු වේගය තරමක් පහත වැටුණ ද ආරම්භක පිතිකරු ව්‍රිදිමන් සහා ඉනිම නිමාවන තුරුම පිටියේ රැඳෙමින් පන්ජාබ් කණ්ඩායමට ලකුණු 230ක් කරා යාමට ඉඩ හසර විවර කර දුන්නේය. පන්දු 55ක් තුල දී නොදැවී ලකුණු 93ක් වාර්තා වුනු ඔහුගේ සුපිරි ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. පන්දු යැවීමේදී බුම්රාහ්, ශර්මා සහ මැක්ලනගන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඕනෑම පිතිකරණ පාරාදීසයක දී තර්ජනාත්මක ලකුණු සංඛ්‍යාවක් ලෙසින් සැලකිය හැකි ලකුණු 231ක් හඹා යාම සඳහා මුම්බායි පිතිකරුවන් ආරම්භය ලබා ගත්තේ ප්‍රථම කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 99ක සබඳතාවයක් පිහිටුවමිනි. ඒ පාතිව් පටෙල් සහ ලෙන්ඩ්ල් සිමන්ස් අතරයි. මෙම තරගය ජයග්‍රහණය කරවීමට මුම්බායි පිළ සතු ප්‍රබලම තුරුම්පුව වන ලෙන්ඩ්ල් සිමන්ස් ඊයේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 59 රැස් කළේය. ඔහු ඉහළින්ම එල්ල කළ පහරක් ලෝන්-ඕන් කලාපයේ සිටි මාර්ටින් ගප්ටිල් ගුවනේ පියාඹා ගොස් රැක නොගන්නට මෙම තරගයේ අවසන් ප්‍රතිඵලය කණපිට පෙරලෙන්නට වැඩි ඉඩකඩක් පැවතුණි.

කෙසේ වෙතත් ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි නිතිශ් රානා සහ රෝහිත් ශර්මා ඊයේ දිනයේ පිත්තෙන් සාර්ථක නොවූ අතර ඔවුන්ගේ මන්දගාමී ක්‍රීඩා රටාව නිසාවෙන් මුම්බායි පිළට අවශ්‍ය කරන ලකුණු වේගය ද ඉහළ ගියේය. ඉන් අනතුරුව පස්වැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගූ කිරන් පොලාර්ඩ් සහ හාර්දික් පාණ්ඩ්‍යා වන්කඩේ ක්‍රීඩාංගණය වසාගත් මුම්බායි ප්‍රේක්ෂකයින්ට නව ජීවයක් ගෙන දීමට සමත් වූහ. පන්දු 13කට පමණක් මුහුණ දුන් පාණ්ඩ්‍යා හයේ පහර 4ක් සමගින් ලකුණු 30ක් රැස් කළේය.

තරගයේ අවසන් කොටසේ දී පිත්තත් පන්දුවත් අතර සිදු වූ සමබර සටනේ අවසන් ප්‍රතිඵලය වශයෙන් මුම්බායි කණ්ඩායමට අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 16ක ඉලක්කයක් හිමි විය. එම අභියෝගය ජය ගැනීමට මුම්බායි කණ්ඩායම සතුව සිටි එකම නමගිය පිතිකරුවා වූයේ කොදෙව් ක්‍රීඩක කිරන් පොලාර්ඩ් පමණි. නමුත් අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කළ මොහිත් ශර්මා එහි දී ලකුණු 8ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදී මුම්බායි කණ්ඩායම ලකුණු 223කට සීමා කරන්නට සමත් විය. ඒ අනුව කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 7කිනි.

කෙසේ වෙතත් කිරන් පොලාර්ඩ්ට තරගයේ අවසන් පන්දුවේ දී තම අර්ධ ශතකය වාර්තා කර ගැනීමට නම් අවස්ථාව උදා විය. පන්දු 24ක් පමණක් වැයවුණු ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට එක් හතරේ පහරක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය. තරගයේ වීරයා සම්මානය සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ව්‍රිදිමන් සහාට හිමිවිය. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ රයිසින් පූනේ සුපර්ජයන්ට් අතර තරගය අද රාත්‍රී 8ට ආරම්භ වනු ඇත.

කිංග්ස් XI පන්ජාබ් – කඩුලු 3ක් දැවී ලකුණු 230 (පන්දුවාර 20): ව්‍රිදිමන් සහා 93*, ග්ලේන් මැක්ස්වෙල් 47, මාර්ටින් ගප්ටිල් 36, ශෝන් මාර්ශ් 25, අක්සාර් පටෙල් 19*, ජස්ප්‍රිට් බුම්රාහ් 1/24, කරන් ශර්මා 1/32.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 223 (පන්දුවාර 20): ලෙන්ඩ්ල් සිමන්ස් 59, කිරන් පොලාර්ඩ් 50*, පාතිව් පටෙල් 38, හාර්දික් පාණ්ඩ්‍යා 30, කරන් ශර්මා 19, මොහිත් ශර්මා 2/57, ග්ලේන් මැක්ස්වෙල් 1/8, රාහුල් තෙවාතියා 1/17.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට